ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ඉදින් නිර්විශේෂයෙන් ප්‍රත්‍යුත්පන්නයෙහි) ඥානය ඇත් නම් එය ක්‍ෂණප්‍රත්‍යුත්පන්නයෙහිදු විය යුතු යැ. එසේ වත් මැ ඥානයෙන් දෙදෙනකුගේ එකතුවක් නො වනුයෙන් ඒ ඥානයෙන් මැ ඒ ඥානය දතයුතු වේ දැ’ යි සොයන්නට ප්‍රශ්න නගයි.) ඒ ඥානයෙන් ඒ ඥානය දන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ඒ ඥානයෙන් ඥානය දන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ඥානයෙන් ඒ ඥානය ‘ඥාන’ යයි දන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ඒ ඥානයෙන් ඒ ඥානය ‘ඥාන’ යයි දන්නේ වේ ද?
ප. පටි: එසේ යැ. (සන්තතිය සඳහා ප්‍රතිඥා යි.)
ස. අනු: ඒ ඥානය ඒ ඥානයට අරමුණු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ඒ ඥානය ඒ ඥානයට අරමුණු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ ස්පර්‍ශයෙන් ඒ ස්පර්‍ශය ස්පර්‍ශ කෙරේ ද, ඒ වේදනායෙන් ඒ වේදනාව විඳී ද, ඒ සංඥායෙන් ඒ සංඥාව හඳුනා ද, ඒ චේතනායෙන් ඒ චේතනාව සිතා ද, ඒ සිතින් ඒ සිත සිතා ද, ඒ විතර්‍කයෙන් ඒ විතර්‍කය විතර්‍කණ කෙරේ ද, ඒ විචාරයෙන් ඒ විචාරය විචාර කෙරේ ද, ඒ ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය පියායන කෙරේ ද, ඒ සිහියෙන් ඒ සිහිය සිහි කෙරේ ද, ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දැනගනී ද,
ඒ කගින් ඒ කග සිඳුනේ ද, ඒ පොරොවින් ඒ පොරොව සසී ද, ඒ කෙටේරියෙන් කෙටේරිය සසී ද, ඒ වැහැයෙන් ඒ වැහැය සස්නේ ද, ඒ හිද්දෙන් ඒ හිද්ද හිවා ද, ඒ ඇඟිලි අගින් ඒ ඇඟිලි අග පරාමර්‍ශ කෙරේ ද, ඒ නැහැ අගින් ඒ නැහැ අග පිරිමසා ද, ඒ මස්තකයෙන් ඒ මස්තකය පරාමර්‍ශ කෙරේ ද, ඒ මූත්‍රයෙන් ඒ මූත්‍රය දොවී ද, ඒ කෙළින් ඒ කෙළ දොවී ද, ඒ පූයායෙන් ඒ පූයාව ධෝවන කෙරේ ද, ඒ ලෙහෙයෙන් ඒ ලෙහෙය දොනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ.
5. ප. පු: ‘ප්‍රත්‍යුත්පන්න ඥානය ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: හැම සංස්කාර අනිත්‍ය විසින් දක්නාලද කල්හි ඒ ඥානයත් අනිත්‍ය විසින් දක්නාලද්දේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් හැම සංස්කාර අනිත්‍ය විසින් දක්නාලද කල්හි ඒ ඥානයත් අනිත්‍ය විසින් දක්නාලද වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘ප්‍රත්‍යුත්පන්න ඥානය ඇතැ’යි කියැයුතු මැ යැ.
ප්‍රත්‍යුත්පන්නඤාණකථා නිමි.
5. 10.
ඵලඤාණකථා
[බුදුවරුත් සත්ත්‍වයන්ගේ ආර්‍ය්‍යඵලප්‍රාප්තිය පිණිස දහම් දෙසති. ශ්‍රාවකයෝත් සත්ත්‍වයන්ගේ ආර්‍ය්‍යඵලප්‍රාප්තිය පිණිස දහම් දෙසති. මේ සාමාන්‍යයෙන් බුදුවරයන්ට සෙයින් මැ ‘ශ්‍රාවකයනට ද ඒ ඒ සත්ත්‍වයන් විසින් පැමිණිය යුතු ඵලයෙහි ඥානය ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් වාදීන්ගේ වාද බිඳුනට ඵලඤාණකථා එයි.]
1. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකයා ඵලකෘත්‍ය පනවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකහට ඵලපරාවරතා ඉන්‍ද්‍රියපරාවරතා පුද්ගලපරාවරතා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකහට ස්කන්‍ධප්‍රඥප්ති ආයතනප්‍රඥප්ති ධාතුප්‍රඥප්ති, සත්‍යප්‍රඥප්ති, ඉන්‍ද්‍රියප්‍රඥප්ති, පුද්ගලප්‍රඥප්ති ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකයා ජින වේ ද, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ සර්‍වදර්ශී, ධර්‍මස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: ශ්‍රාවකහට ඵලඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශ්‍රාවකයා නූපන් දහම් උපදවනුයේ වේ ද, නූපන් මාර්‍ගය උපදවනුයේ වේ ද, ප්‍රකාශ නො කළ මාර්‍ගය ප්‍රකාශ කරනුයේ වේ ද, මාර්‍ගඥ, මාර්‍ගවිත්, මාර්‍ගකෝවිද වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ප. පු: ‘ශ්‍රාවකයාහට ඵලඥාන ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ශ්‍රාවක අඥාන වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ … (අවිද්‍යා සඞ්ඛ්‍යාත අඥාන නැසූ බැවින් ප්‍රතික්‍ෂිප්ත යි.)
ප. නිග: එ කරුණින් ශ්‍රාවකහට ඵලඥාන ඇති.
ඵලඥානකථා නිමි.
පස් වැනි වර්‍ගය නිමියේ යි.
මහාපණ්ණාසක යි.
එහි උද්දානය:
විමුත්තිකථා යැ අසෙඛඤාණකථා යැ විපරීතකථා යැ නියාමකථා යැ පටිසම්භිදාකථා යැ සම්මුතිඤාණකථා යැ චිත්තාරම්මණකථා යැ අනාගතඤාණකථා යැ පච්චුප්පන්නඤාණකථා යැ ඵලඤානකථා යැ යි පඤ්චමවර්‍ගයෙහි කථා දසයෙකි.
ෂෂ්ඨ වර්‍ගය
6. 1.
නියාමකථා
[‘නියාමගමනය පිණිස අනියතපෘථග්ජනයාට ඥානය ඇති’ යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට නියාමකථා එයි.]
1. ස. පු: නියාමය ‘අසඞ්ඛත’ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණය, ත්‍රාණ, ලෙණ, සරණ, පරායණ, අච්‍යුත, අමෘත වේ ද? (මෙලෙස නියාමයත් අසංස්කෘත වේ දැ’ යි සේ යි.)
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: (තොප මතයෙහි) නියාමය අසංස්කෘත යැ. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක්, ලෙණයෝ දෙදෙනෙක්, සරණයෝ දෙදෙනෙක්, පරායණයෝ දෙදෙනෙක්, අච්‍යුතයෝ දෙදෙනෙක්, අමෘතයෝ දෙදෙනෙක්, නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උභය නිර්‍වාණයන්ගේ උච්චනීචතායෙක් හීනප්‍රණීතතායෙක් උත්කර්‍ෂාවකයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නියාමයට බැසගන්නා, එය පිළිලබන, උපදවන, මොනොවට උපදවන, නංවන, මොනොවට නංවවන, නිපදවන, සකසා නිපදවන, දනවන, සකසාදනවන යමෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අසංස්කෘතයට බැසගන්නා, එය පිළිලබන, උපදවන, මොනොවට උපදවන, නංවන, මොනොවට නංවවන, නිපදවන, සකසා නිපදවන, දනවන, සකසා දනවන යමෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (උත්පාදනිරෝධභාවයෙන් ප්‍රතික්‍ෂේප කෙරේ.)
7. ස. පු: මාර්‍ගය සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නියාමය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: සෝවත්නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්මග අසංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: සොවත්මඟ සංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්නියාමය සංස්කෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: සෙදගැමි නියාමය … අනගැමි නියාමය … රහත් නියාමය අසංස්කෘත වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.