ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: සෝවත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
13. ස. පු: සෙදගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෙදගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: අනගැමිඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනගැමිඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: රහත්ඵලයෙන් යුක්ත පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්බව පසක් කරන්නට පිළිපන් පුද්ගලයාගේ විමුක්තිඥානය විමුක්ත වෙයි. එ ද ඵලයට පැමිණියහුගේ ඥානය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
විමුක්තිකථා නිමි.
5. 2.
අසෙඛඤාණකථා
[යම් හෙයෙකින් ආනන්‍දස්ථවිරාදි ශෛක්‍ෂයෝ ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි ආදීන් අශෛක්‍ෂයන් දනිත් ද, එහෙයින් ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට අසේඛඥාණකථා එයි.]
1. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දක්නාලද කොට දන්නාලද කොට සාක්‍ෂාත් කරනලද කොට උපයා වාස කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දන්නේ නො දක්නේ නො දක්නාලද්ද, නො දන්නාලද්ද, සාක්‍ෂාත් නො කරනලද්ද උපයා වාස නො කෙරේ නො? නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී නම්, නො දකී නම්, නො දක්නාලද්ද, නො දන්නාලද්ද, සාක්‍ෂාත් නො කරනලද්ද උපයා වාස නො කෙරේ නම්, නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ නම්,
අනු. පා: භවත, ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇද්ද, අශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දෘෂ්ට කොට විදිත කොට සාක්‍ෂාත්කෘත කොට උපයා වාස කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇද්ද, ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය දනී ද, දකී ද, දක්නාලද කොට දන්නාලද කොට සාක්‍ෂාත්කෘත කොට උපයා වාස කෙරේ ද, නාමකයින් පැහැස වාස කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද, ශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී ද, නො දකී ද, නො දක්නා ලද, නො දන්නාලද, සාක්‍ෂාත් නො කරනලද ඒ ධර්‍මය උපයා වාස නො කෙරේ ද, නාමකයින් අරමුණු කොට වාස නො කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද, අශෛක්‍ෂයා අශෛක්‍ෂධර්‍මය නො දනී ද, නො දකී ද, නො දක්නාලද, නො දන්නාලද, අසාක්‍ෂාත්කෘත ඒ ධර්‍මය උපයා වාස නො කෙරේ ද, නාමකයින් ස්පර්‍ශ කොට වාස නො කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගෝත්‍රභූ පුද්ගලහට ශ්‍රෝතාපත්තිමාර්‍ගයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: ශ්‍රෝතාපත්තිඵල ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන් පුද්ගලයාහට ශ්‍රොතාපත්තිඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සෙදගැමිඵල පසක් කිරීමට පිළිපන් … අනගැමිඵල පසක් කිරීමට පිළිපන් … රහත්ඵල පසක් කිරීමට පිළිපන් පුද්ගලයාහට රහත්ඵලයෙහි ඥානය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ප. පු: ‘ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥාන ඇතැ’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ශෛක්‍ෂ වූවාහු ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි දන්නාහු නො වේ ද? ශාරීපුත්‍ර තෙරණුවෝ, මහමුගලන් තෙරණුවෝ උදාරයහ’ යි දන්නාහු නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ආයුෂ්මත් අනඳතෙරණුවෝ ශෛක්‍ෂ වූවාහු ‘භාග්‍යවතුන් වහන්සේ උදාරයහ’ යි දනිත් නම්, සැරියුත් තෙරණුවෝ, මහමුගලන් තෙරණුවෝ උදාරයහ’ යි දනිත් නම්,
අනු. පා: භවත, එකරුණින් ශෛක්‍ෂයාහට අශෛක්‍ෂඥානය ඇතැ’ යි කියැයුතු මැ යැ.
අසෙඛඤාණකථා නිමි.
5. 3.
විපරීතකථා
[‘පඨවීකසිණයෙහි පඨවීසංඥා ඇති වැ සමවන්නවුන්ගේ ඥානය විපරීතඥානයෙකැ’ යි අන්‍ධනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට විපරීතකථා එයි.]
1. ස. පු: පඨවීකසිණ සමවත් සමවන් පුද්ගලයාගේ විපරීතඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (පෘථිවිය නිසා උපන් නිමිත්ත පෘථිවිය මැ නො වෙයි. එහිදු මෙතෙම පෘථිවිසංඥා ඇත්තෙක. එයින් විපරීතඥාන ඇත යනු ප්‍රතිවාදියාගේ අධිප්‍රාය යි.)
ස. අනු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ ද? (ලක්‍ෂණ පෘථිවිය ද සසම්භාරපෘථිවිය ද නිමිත්තපෘථිවිය ද, පෘථිවීදේවතා දැ යි හැම පෘථිවී නම් වෙයි. එහි ‘පෘථිවී’ යයි උපන් ඥානය විපරීත නො වෙයි. ‘අනිත්‍යයෙහි නිත්‍ය’ යයි ආදීන් උපන් විපර්‍ය්‍යාසය විපරීතඥාන නමි. කිම? තොපගේ මේ ඥානය මෙයින් අන්‍යතරයෙක් ද හො යි චෝදනා නගන්නට කළ අනුයෝග යි.)
ප. පටි: එසේ නො කියැයුතු යැ … (විපර්‍ය්‍යාසලක්‍ෂණ නැතියෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි.)
ස. අනු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි ... අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ….
2. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (පඨවීනිමිත්ත සඳහා පිළින යි.)
ස. අනු: අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: කුසල් නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කුසල් වේ නම්,
අනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි … අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනිත්‍යයෙහි නිත්‍යය යනු විපර්‍ය්‍යාස වේ නම්, එ ද කුසල් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛයෙහි ‘සුඛ’ යයි … අනාත්මයෙහි ‘ආත්ම’ යයි … අශුභයෙහි ‘ශුභ’ යයි ගන්නේ විපර්‍ය්‍යාස වේ නම්, එ ද අකුසල් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ නම්,
අනු. පා: භවත, ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන වේ’ යයි නො කියැයුතු මැ යැ.
7. ස. පු: ‘පඨවීකසිණ සමවත් සමවන්නහුගේ විපරීතඥාන ඇත’ යනු තොප මත යි. රහත් පඨවීකසිණ සමවත් සමවදනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට විපර්‍ය්‍යාස ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: රහත්හට විපර්‍ය්‍යාස ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ. (පෘථිවීනිමිත්ත සඳහා පිළින යි.)
ස. අනු: රහත්හට සංඥාවිපර්‍ය්‍යාස චිත්තවිපර්‍ය්‍යාස දෘෂ්ටිවිපර්‍ය්‍යාස ඇද්ද?