ප. පටි: එසේ නො කියැයුතු යැ …
18. ප. පු: බෝධියෙන් බුද්ධ වේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වෙයි නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වේ නම්,
අනු. පා: එකරුණින් භවත, ‘බෝධියෙන් බුද්ධ වෙයී’ කියැයුතුයැ.
19. ස. පු: ‘බොධිප්‍රතිලාභයෙන් බුද්ධ වෙතී’ යනු කරුණු කොටගෙන බෝධියෙන් බුද්ධ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බොධිප්‍රතිලාභයෙන් බෝධි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
බෝධියාබුද්ධෝ’ති කථා නිමි.
4. 7.
ලක්ඛණකථා
[“යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියො භවන්ති” යි වදාළ සුත්‍රප්‍රදේශ නුනුවණින් ගෙන මහා පුරුෂ ‘ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව මැ වේ ය’යි ලබ්ධි ගත් විරුද්ධවාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ලක්ඛණකථා එයි.]
1. ස. පු: ලක්‍ෂණ සමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රදේශ (සීමාසහිත) ලක්‍ෂණයෙන් සමන්‍වාගත වූයේ ප්‍රදේශබෝධිසත්ත්‍ව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රිභාග (තුන් කොටසක්) ලක්‍ෂණයෙන් සමන්‍වාගත වූයේ ත්‍රිභාගබෝධිසත්ත්‍ව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අර්‍ධ (දෙකෙන් කොටසක්) ලක්‍ෂණයෙන් සමන්‍වාගත වූයේ අර්‍ධබොධිසත්ත්‍ව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: ලක්‍ෂණසමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චක්‍රවර්තිසත්ත්‍වයා ද ලක්‍ෂණසමන්‍වාගත වෙයි. චක්‍රවර්ති සත්ත්‍වයා බෝධිසත්ත්‍ව වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (බෝසත් නො වන සක්විති ගෙන කළ ප්‍රතික්‍ෂේප යි.)
5. ස. පු: චක්‍රවර්තිසත්ත්‍වයා ලක්‍ෂණසමන්‍වාගත වෙයි. චක්‍රවර්තිසත්ත්‍වයා බෝධිසත්ත්‍ව වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (බෝසත් වන සක්විති ගෙන කළ ප්‍රතිඥා යි.)
ස. අනු: බෝසතුන්ගේ යම්බඳු පූර්‍වයෝගයෙක් පූර්‍වචර්‍ය්‍යායෙක් ධර්‍මාඛ්‍යානයෙක් ධර්‍මදේශනායෙක් ඇද්ද, චක්‍රවර්තිහුගේත් එබඳු පූර්‍වයෝගයෙක් පූර්‍වචර්‍ය්‍යායෙක් ධර්‍මාඛ්‍යානයෙක් ධර්‍මදේශනායෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් පරිදි උපදනා බෝසතුන් දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා දෙවියෝ පළමු කොට පිළිගනිත් ද, මිනිස්සු පසුව පිළිගනිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
6. ස. පු: යම් සේ උපදනා බෝසත් සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද, එසේ ම උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා සතරවරම් දෙව්රජහු පිළිගෙන මව පෙරට තබත් ද, ‘දේවී සොම්නස්වා, තොපට මහානුභාව සම්පන්න පුතෙක් උපන’ යි කියත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් පරිදි උපදනා බෝසත්හට බෝසතුන් හා මවට දියකිස කරන සිහිල් වූත් උෂ්ණ වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද, එ පරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයාට සක්විතිදරු හා මවට දියකිස කරන සිහිල් වූත් උණු වූත් දෙදියදහරෙක් අහසින් වෙන වෙන පහළ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් සේ උපන් කෙණෙහි බෝසත් සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, ශ්වේතච්ඡත්‍ර ධරත් මැ ඔබ මොබ හැමදික් බලා ද, ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මේ අන්තිමජාති යැ, දැන් පුනර්‍භවයෙක්, නැති’ යි සිංහනාද කෙරේ ද, එ පරිදි මැ එකෙණෙහි උපන් චක්‍රවර්තිසත්ත්‍වයා සම්පාදයෙන් සිට උත්තරාභිමුඛ වැ සප්තපදව්‍යතීහාරයෙන් යේ ද, සේසත් ධරත් මැ හැමදික් ඔබ මොබ බලා ද, ‘මම ලෝකයට අග්‍රයෙමි … පුනර්‍භවයෙක් නැති’යි සිංහනාදත් කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම්සේ උපදනා බෝසත්හු පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් ඇද්ද, එපරිදි මැ උපදනා චක්‍රවර්තිසත්ත්‍වයා පිළිබඳ වැ මහත් ආලෝකයක්හුගේ මහත් අවභාසයක්හුගේ මහත් භූමිචලනයක්හුගේ පහළ වීමෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් පරිදි බෝසත්හුගේ පියවි කය හාත්පස බඹයක් එළිය කෙරේ ද, එපරිදි මැ සක්විතිහුගේ පියවිකය හාත්පස බඹයක් එළිය කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: යම් පරිදි බෝසත් මහාසුපින දක්නේ වේ ද, එපරිදි මැ සක්විතිසත් මහාසුපින දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: ලක්‍ෂණ සමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව වෙති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වදාරනලද නො වේ ද? “මහණෙනි, මහාපුරුෂයාගේ මේ මහාපුරුෂලක්‍ෂණයෝ දෙතිසෙකි: යම් ලකුණකින් සමන්‍වාගත මහාපුරුෂයාහට ගතීහු දෙදෙනෙක් මුත් අන්‍යගතීහු නැද්ද, (එ බඳු මහපුරිස් ලකුණු ය.) ඉදින් ගිහිගෙහි වෙසේ නම් ධාර්මික වූ ධර්‍මරාජන් වූ සියුසයුරු දිනූ පරසතුරන් දිනූ දනවුයෙහි තහවුරු බවට පත් සත්රුවනින් යුත් සක්විති රජ වෙයි. මොහු ඔහුගේ සත්රුවන්හු වෙති: කෙසේ යැ යත්: චක්‍රරත්න යැ හස්තිරත්න යැ අශ්වරත්න යැ මණිරත්න යැ ස්ත්‍රීරත්න යැ ගෘහපතිරත්න යැ සත් වැනි පුත්‍රරත්න යි. ඔහුට ශූර වූ වීරාඞ්ගරූප වූ පරසෙන් මඩනට පොහොසත් දහසින් වැඩි පුත්හු වෙති. හේ සාගරපර්‍ය්‍යන්ත මේ පොළොව අදණ්ඩයෙන් අශස්ත්‍රයෙන් ධර්‍මයෙන් මොනවට දිනා වෙසෙයි. ඉදින් ගිහිගෙන් නික්ම පැවිද්දට වදනේ නම් ලෝකයෙහි පෙරළු කෙලෙස්සියන් ඇති අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘ලක්‍ෂණ සමන්‍වාගත වූයේ බෝධිසත්ත්‍ව’ වෙයි.
ලක්ඛණකථා නිමි.
4. 8.
නියාමොක්කන්තිකථා
[‘නියාම’ යනුදු ‘බ්‍රහ්මචරිය’ යනුදු ආර්‍ය්‍යමාර්‍ගයට නමි. බෝධිසත්ත්‍වයනට පාරමී ඥානය මිස නියාමයෙක් නැත. ඉදින් ඇත් නම් බෝසත් සෝවන් සව්වෙක් වෙයි. තෙල එසේ නො වෙයි. එසේ වතුදු ජෝතිපාල මාණවකයාගේ පැවිද්ද ගෙන ‘අප මහසත් කසුප් බුදුන් දවස එසස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බඹසර ඇතියේ වී’ යයි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. අන්‍ධක නිකායවාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට නියාමොක්කන්තිකථා එයි.]
1. ස. පු: බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ පිරූ බ්‍රම්සරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ලබ්ධියෙහි සිට කළ ප්‍රතිඥා යි.)
ස. අනු: බෝසත් කසුප් බුදුන්ගේ සව්වෙක් වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සව්වෙක් වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සවු වැ සිට බුදු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (බෝසත්හුගේ පශ්චිමභවය සඳහා කළ ප්‍රතික්‍ෂේප යි.)
3. ස. පු: සවු වැ සිට බුදු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ජෝතිපාල කාලය සඳහා කළ ප්‍රතිඥා යි.)
ස. අනු: අනුශ්‍රවයෙන් (ශ්‍රාවක වශයෙන්) ප්‍රතිවේධ කළ ධර්‍ම ඇතියේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ … (පශ්චිමභවය සඳහා ප්‍රතික්‍ෂේප යි.)
4. ස. පු: අනුශ්‍රවයෙන් ප්‍රතිවේධ කළ ධර්‍ම ඇතියේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ජෝතිපාල කාලයෙහි අනුශ්‍රව සඳහා කළ පිළින යි.)
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ ස්වයම්භූ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ස්වයම්භූ වෙත් නම්,
අනු. පා: අනුශ්‍රවික යැ යනු නො කියැයුතු මැ යැ.
5. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි (විදුරසුන්හි දී) ත්‍රිවිධ ශ්‍රාමණ්‍යඵලයෝ මැ ප්‍රතිවේධ කරන ලද්දාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි දී සතර ශ්‍රාමණ්‍යඵලයෝ අවබෝධ කරන ලද්දාහු නො ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් බෝධිමූලයෙහි දී සතර ශ්‍රාමණ්‍යඵලයෝ අවබෝධ කරන ලද්දාහු වෙත් නම්,
අනු. පා: භවත, ‘බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී’ යයි නො කියැයුතු මැ යැ …
6. ස. පු: බෝසත් කසුප් බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරූ බඹසරවස් ඇතියේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බෝසත් දුෂ්කරක්‍රියා කෙළේ වී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දර්‍ශනසම්පන්න පුද්ගල දුෂ්කරක්‍රියා කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: බෝසත් පරපරිතාපනානුයෝග නො කෙළේ අන් ශාස්තෘවක්හු උදෙසා විසී ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (ආලාර – රාමපුත්‍රයන් සඳහා පිළින යි.)
ස. අනු: දර්‍ශනසම්පන්න පුද්ගල අන් ශාස්තෘවක්හු උදෙසා වසන්නට නිසි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු සැරු බඹසරවස් ඇත්තාහු වෙති. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ අප බුදුන්ගේ ශ්‍රාවක වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) බෝසත් කසුප් බුදුන් සස්නෙහි බැසගත් නියාම ඇතියේ සැරු බඹසර ඇතියේ වී. බෝසත් කසුප් බුදුන්ගේ ශ්‍රාවකයෙක් වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
9. ස. පු: චිත්ත ගැහැවි, හත්‍ථක ආළවක යන මොහු අප බුදුන්ගේ සස්නෙහි බැසගත් නියාම ඇත්තාහු පිරූ බ්‍රහ්මචර්‍ය්‍ය ඇත්තාහු වෙති. චිත්ත ගැහැවි හත්‍ථක ආළවක යන මොහු අප බුදුන්ගේ ශ්‍රාවක වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.