ස. අනු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි සංඥා ඇති යි නො කියැයුතු ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
10. ස. පු: ‘ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
11. ස. පු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
12. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’යි නො කියැයුතු ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වේ නම්,
අනු. පා: භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇතියි හෝ නැතියි හෝ නො කියැයුතු යැ’යි නො කියැයුතු යැ.
13. ස. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’ යි නො කියැයුතු ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආකාසානඤ්චායතනය … විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. ආකිඤ්චඤ්ඤායතනයෙහි ‘සංඥා ඇතියි හෝ නැතියි හෝ’යි නො කියැයුතු ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
14. ස. පු: ආකාසානඤ්චායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
15. ස. පු: විඤ්ඤාණඤ්චායතනය … ආකිඤ්චඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය චතුවෝකාරභව වෙයි. එහි සංඥා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
16. ප. පු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ‘සංඥා ඇති යි හෝ නැති යි කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනය නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය වේ නම්,
අනු. පා: එකරුණින් භවත, ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇතියි හෝ නැතියි හෝ නො කියැයුතු යැ’ යනු කියැයුතු මැ යැ.
17. ස. පු: ‘ නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ’යි (වචනය ප්‍රමාණ) කොට ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි සංඥා ඇති යි හෝ නැති යි හෝ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘අදුක්ඛමසුඛාවේදනා’ යන වචනය ප්‍රමාණ කොට අදුක්ඛමසුඛවෙදනායෙහි ‘වේදනා’ යයි හෝ ‘අවේදනා’ යයි හෝ නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
නේවසඤ්ඤානාසඤ්ඤාකථා නිමි.
තෙවන වර්‍ගය නිමි.
එහි උද්දාන:
බලසාධාරණකථා යැ, අරියන්තිකථා යැ, විමුත්තිකථා යැ, විමුච්චමානකථා යැ, අට්ඨමකකථා යැ, අට්ඨමකඉන්‍ද්‍රියකථා යැ, දිබ්බචක්ඛුකථා යැ, දිබ්බසොතකථා යැ, යථාකම්මූපගතඤාණකථා යැ, සංවරකථා යැ, අසඤ්ඤකථා යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතනකථා යි මෙසේ තෙල වර්‍ගය නිමි.
චතුර්‍ත්‍ථ වර්‍ගය
4. 1.
ගිහිස්සඅරහාතිකථා
[යසකුලපුත්‍රාදීන් ගෘහීව්‍යඤ්ජනයෙන් සිටියවුන්ගේ අර්‍හත්ත්‍වප්‍රාප්ති දැක ‘ගිහියා රහත් වෙති’ යි ගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘ගිහිස්ස අරහාති’ කථා එයි.]
1. ස. පු: ගිහියෙක් රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ගිහී සංයෝජන ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: රහත්හට ගිහී සංයෝජන නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට ගිහී සංයෝජන නැත් නම්,
අනු. පා: භවත, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: ගිහියා රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ගිහී සංයෝජන පුහුන් වූයේ උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ අවස්තුක වූයේ ප්‍රඥායෙන් කළ අභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට ගෘහීසංයෝජන ප්‍රහීණ වී නම්, උසුන්මුල් වී නම් මුදුන්සුන් තලක් සේ අවස්තුක වී නම්, ප්‍රඥායෙන් කළ අභාව ඇති වී නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇති වී නම්,
අනු. පා: භවත, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: ගිහියෙක් රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ගෘහීසංයෝජන නො පියා දෘෂ්ටධර්‍මයෙහි මැ දුක් කෙළවර කරන කිසි ගිහියෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: නැත.
අනු. ඨ: ඉදින් ගෘහීසංයෝජන නො පියා ඉහාත්මයෙහි මැ දුක් කෙළවර කරන කිසි ගිහියෙක් නැත් නම්,
අනු. පා: භවත, ‘ගිහියෙක් රහත් වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: ගිහියා රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වච්ඡගොත්ත පරිව්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ නො වේ ද: “භවත් ගෞතමයන් වහන්ස! ගිහීසංයෝජන නො පියා කාබුන් මරණින් මතු දුක් කෙළවර කරන යම් මැ ගිහියෙක් ඇත්තේ වේ ද? වච්ඡය! ගිහීසංයෝජන නො පියා කායභේදයෙන් දුක් කෙළවර කරන යම් මැ ගිහියෙක් නැති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින්, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු යැ.
6. ස. පු: ගිහියා රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් මෙවුන්දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනුයේ වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරන්නේ වේ ද, රන්රිදී ඉවසන්නේ වේ ද, එළුබැටෙළු පිළිගන්නේ වේ ද, කුකුළුහූරු පිළිගන්නේ වේ ද, ඇත් ගව අස් වෙළෙඹ පිළිගන්නේ වේ ද, තිත්වටු වටු මොනර කපිඤ්ජරවටු පිළිගන්නේ වේ ද, කසාවන් විජිනි හා වාලමයමෞලි දරන්නේ වේ ද, දික්දහ ඇති සුදුවත් දරන්නේ වේ ද, දිවිහිම් කොට ගිහි වූයේ වේ දැ? යි.
ප. පටි: එසේ නො කියැයුතු යැ …
7. ප. පු: ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: යස කුලපුත්, උත්තිය ගැහැවි, සෙතුමාණව, ගෘහීව්‍යඤ්ජනයෙන් අර්‍හත්‍වයට පැමිණියේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් යස කුලපුත්, උත්තියගැහැවි, සෙතුමාණව, ගිහිලකුණින් මැ රහත්බවට පැමිණියේ වී නම්,
අනු. පා: එකරුණින් භවත, ‘ගිහියා රහත් වෙති’ යි කියැයුතු මැ යැ.
ගිහිස්ස අරහාතිකථා නිමි.
4. 2.
උපපත්තිකථා
[‘ඕපපාතිකො හොති තත්‍ථ පරිනිබ්බායී’ යන ආදි පෙළ නුනුවණින් ගෙන ‘ශුද්ධාවාසයෙහි දී උපප්‍රාප්තියෙන් රහත් වෙති’යි ලබ්ධි ගත් කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. ඔවුන්ගේ වාද බිඳුනට උපපත්තිකථා එයි.]
1. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග මැ රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග සෙදගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග රහත් වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: උපප්‍රාප්ති චිත්තය සමග අනගැමි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් උපප්‍රාප්ති චිත්තය සමග සෝවන් නො වේ නම්,