ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපී පුද්ගල සිඳුණේ අරූපී පුද්ගල වී ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
158. ස. පු: රූපධාතුයෙහි රූපවත්හු සත්ත්‍ව වෙති. අරූපධාතුයෙහි අරූපවත්හු සත්ත්‍ව වෙති. (එසේ පිළිගත් තොප මතයෙහි දී) රූපධාතුයෙන් චුත වැ අරූපධාතුවට වදනා කිසිවෙක් ඇද් ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
ස. අනු: රූපී සත්ත්‍ව සිඳුණේ අරූපී සත්ත්‍ව වී ද?
ප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැ යුතු යැ ...
159. ස. පු: කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි (මෙසේ) කය සිරුරින් නො වෙන් කොට ගෙන තෙල මැ හෙ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාගතජ්ජාතික වේ ද? (ඒ කය මැ තෙල ශරීර වේ ද? යනු පිළිවිසීම යි.)
ප. ප්‍රතිඥා: එසේ යැ. (නානාත්‍වය නො දක්නේ පිළින කෙරෙයි,)
ස. පු: පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යයි පුද්ගල (ජීවයා කෙරෙන්) නො වෙන් කොට ගෙන තෙල ඒ ජීව මැ පුද්ගල වේ ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
ස. පු: කය අනෙකෙක් වේ ද? පුද්ගල අනෙකෙක් වේ ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
ස. අනු: ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
ප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු යැ.
ස. නිග්‍රහ: නිග්‍රහ පිළිගනුව.
අනු. ඨ: ඉදින් කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය (සිරුරින්) නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යයි පුද්ගල (ජීවයා කෙරෙන්) නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, කියා නම් කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ.
අනු. පා: භවත, එයින් ‘ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකැ’යි කියැයුතු මැ යැ.
අනු. ආ: “කය හෝ ශරීරය හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හේ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යයි පුද්ගල නො වෙන් කොට ගෙන තෙලෙ හේ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි කියැයුතු යයි ද, ජීව අනෙකෙකැ ශරීර අනෙකෙකැ යි නො කියැයුතු යයි” ද යමක් එහි ලා කියෙහි නම් ඒ මිථ්‍යා යැ.
පටි. ඨ: ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකැ යි ඉදින් නො කියැයුතු වේ නම්,
පටි. පා: කය හෝ ශරීරය හෝ යැ, ශරීර හෝ කය හෝ ය යි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යැ යි පුද්ගල නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යැ යි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි ද, භවත, නො කියැයුතු මැ යැ.
පටි. ආ: “කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යැ යි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යැ යි ද, පුද්ගල හෝ ජීව හෝ යැ, ජීව හෝ පුද්ගල හෝ යැ යි පුද්ගල නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වෙයි; ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යැ යි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි ද, ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකැ යි නො කියැයුතු යැ යි” (මෙසේ) යමක් එහි ලා කියෙහි නම් ඒ මිථ්‍යා යැ ...
160. ප. පු: කය හෝ සරීර හෝ යැ, සරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වේ ද? ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලද නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: කය අනෙකෙක් වේ ද, පුද්ගල අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියයුතු යැ.
ප. පටිකම්ම: ප්‍රතිකර්‍ම පිළිගනුව.
අනු. ඨ: ඉදින් කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වේ යයි ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලදැයි ද කියා නම්,
අනු. පා: භවත, එයින් ‘කය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ’යි කියැයුතු මැ යැ.
අනු. ආ: කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන ‘තෙලෙ හෙ වේ යයි ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලදැයි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැයි නො කියැයුතු යැ යි දැයි මෙසේ කියැයුතු යැයි එහි ලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යැ.
පටි. ඨ: ඉදින් ‘කය අනෙකෙකැ, පුද්ගල අනෙකෙකැ’යි නො කියැයුතු වේ නම්,
පටි. පා: භවත, ‘කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වේ යයි ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ’ යයි ද, ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලදැයි ද නො කියැයුතු වේ මැ යැ.
පටි. ආ: “කය හෝ ශරීර හෝ යැ, ශරීර හෝ කය හෝ යයි කය නො වෙන් කොට ගෙන තෙලෙ හෙ වේ යයි ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග තජ්ජාතික වේ යයි ද, ‘ආත්මහිතයට පිළිපන් පුඟුලෙක් ඇති’යි භගවත්හු විසින් වදාරන ලදැයි ද, කය අනෙකෙකැ පුද්ගල අනෙකෙකැ යි කියැයුතු යැයි ද මෙසේ කියැයුතු” යයි එහි ලා යමක් කියෙහි නම් ඒ මිථ්‍යා යැ ...
පඤ්ඤත්තානුයෝග යි.
161. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද (ගතිපරිවර්‍තනයෙන්) දුවනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (ශාශ්වත වශයෙන්) මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද ඒ පුද්ගල මැ සංධාවනය කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ(ශාශ්වතදෘෂ්ටි භයෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි) ...
ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද (ගමනාගමන විසින්) සංධාවන කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අන්‍ය පුද්ගලයෙක් මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ප. පටි: එසේ නො කියැ යුතු යැ (උච්ඡේදදෘෂ්ටි භයෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි) ...
162. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද දුවනේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ පුද්ගල ද අනෙක් පුද්ගලවනුයෙක් ද මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ (ඒකත්‍යශාශ්වතදෘෂ්ටි භයෙන් ප්‍රතික්‍ෂේප කෙරෙයි) ...
163. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හෙ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද නො මැ සංධාවන කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
164. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද ඒ පුද්ගල සංධාවන කෙරේ ද? අන්‍ය පුද්ගලයෙක් සංධාවන කෙරේ ද? ඒ පුද්ගල ද අන්‍ය පුද්ගල වනුයෙක් ද සංධාවන කෙරේ ද? ඒ පුද්ගල නො මැ සංධාවන කෙරේ ද? අන්‍ය පුද්ගලයෙක් සංධාවන නො කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
165. ප. පු: මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද පුද්ගල සංධාවන කෙරේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: භගවත්හු විසින් තෙල වදාරන ලද්දේ මැ නු? “පුද්ගල සත්යලක් පරම කොට සංධාවන විසින් දිවැ සර්‍වසංයෝජනක්‍ෂයෙන් දුක් කෙළවර කරන්නේ වේ”යයි. සූත්‍රාන්ත ඇත් මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නි: එකරුණින් පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරෙයි.
166. ස. පු: ‘පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ’ යයි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: “මහණෙනි, මෙ සසර නො පිරිසුන් අක් ඇතියේ යැ. අවිද්‍යායෙන් ඇවිරුණු තෘෂ්ණාසංයෝජනයෙන් බැඳුණු සංධාවන සංසරණ කරන සත්ත්‍වයන්ගේ පූර්‍වකොටි නො පැනේ” යයි භගවත්හු විසින් වදාරන ලද්දේ මැ නු? සූත්‍රාන්ත ඇත් මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නි: ඒ කරුණින් පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරෙයි.
167. ස. පු: පුද්ගල මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
168. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ ය. (‘සෝ පුග්ගලො ව, න අඤ්ඤා’ යනාදි සූත්‍රාන්ත ඇතියෙන් දෙවන වට පිළින කෙරෙයි.)
ස. පු: පළමු මිනිස් වැ සිට දෙවනු දෙවි වන කිසි මිනිසෙක් ඇත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ මිනිස් මැ ඒ දෙවි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
169. ස. පු: ඒ මිනිස් මැ ඒ දෙවි වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (“අහං තෙන සමයෙන සුනෙත්තො නාම සත්‍ථා අහෝසි” යනාදි සූත්‍ර විසින් දෙවන වට පිළින කෙරෙයි.)
ස. ආ: මිනිස් වැ සිට දෙවි වෙයි. දෙවි වැ සිට මිනිස් වෙයි. මිනිස් වූයේ අනෙකෙකැ, දෙවි වූයේ අනෙකෙකැ. මිනිස් වූ ඒ මේ පුද්ගල සංධාවන කෙරේ යැ යනු මිථ්‍යා යැ ...
ස. නි: ඉදින් එ මැ පුද්ගල මෙලොවින් ච්‍යුත වැ පරලොව දිවෙයි. අනෙකෙක් නො දිවෙයි යනු වත් මැ මෙසේ මරණ නො වෙයි. ප්‍රාණාතිපාත ද නො ලැබෙයි. කර්‍මයෙක් ඇත, කර්‍ම විපාකයෙක් ඇත, කළ කර්‍මයන්ගේ විපාකයෙක් ඇත, ‘පින් පව් පැසෙන කළ ඒ මේ පුඟුල් මැ දිවේ’ යනු මිථ්‍යා යැ.
170. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
ස. අනු: මිනිස් වැ සිට යක් වන ... ප්‍රේත වැ සිට නේරයික වන ... තිරිසන්ගිය වන ... ඔටු වන ... ගොන් වන ... ගදුබු වන ... හූරු වන ... මහිෂ වන ... කිසිවෙක් ඇද්ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
ස. අනු: ඒ මිනිස් මැ ඒ මහිෂ වේ ද?
ප. ප්‍රති: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: ඒ මිනිස් මැ ඒ මහිෂ වේ ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
සක. ආ: මිනිස් වැ සිට මහිෂ වෙයි, මහිෂ වැ සිට මිනිස් වෙයි, මිනිස් වූයේ අනෙකෙකැ, මහිෂ වූයේ අනෙකෙකැ, මිනිස් වූ ඒ මේ පුද්ගල මැ සංධාවන කෙරේ, යනු මිථ්‍යායෙකි ...
ස. නි: ඉදින් ඒ පුද්ගල මැ මෙයින් ච්‍යුත වැ පරලොවට සංධාවන කෙරේ නම්, අනෙකෙක් සංධාවන නො කෙරේ නම්, මෙසේ මරණ නො වන්නේ යැ. ප්‍රාණාතිපාත ද නො වන්නේ යැ, කර්‍ම ද ලැබෙයි, කර්‍මවිපාක ඇතියි ද, කළ කර්‍මයන්ගේ විපාක ඇතියි ද, පින්පව් විවස්නා කළ ඒ මේ පුඟුල් මැ සංධාවන කෙරේ යනු මිථ්‍යායෙකි.
171. ස. පු: ඒ පුද්ගල මැ මෙලොවින් පරලොවට ද පරලොවින් මෙලොවට ද සංධාවන කෙරේ ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
ස. පු: ක්‍ෂත්‍රිය වැ සිට බමුණු වන කිසිවෙක් ඇද් ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
ස. අනු: ඒ ක්‍ෂත්‍රිය මැ ඒ බ්‍රාහ්මණ වෙ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: ක්‍ෂත්‍රිය වැ සිට වෛශ්‍ය වන ... ශුද්‍ර වන කිසිවෙක් ඇද් ද?
ප. ප්‍රතිඥා: එසේ යැ.
ස. අනු: ඒ ක්‍ෂත්‍රිය මැ ඒ ශුද්‍ර වේ ද?
ප. ප්‍රතික්‍ෂේප: එසේ නො කියැයුතු මැ යැ.