ප. පටි එසේ නො කියැයුතු මැ යැ ...
16. ප. පු: රුවන්මුවා යටින් ධාන්‍යපුඤ්ජයත් ස්වර්‍ණපුඤ්ජයත් දක්වා කියන්නට ලැබිය හේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ පරිදි මැ භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්‍මය ව්‍යවහාර කෙරෙති.
17. ස. පු: එරඬු යටින් ධාන්‍යපුඤ්ජයත් ස්වර්‍ණපුඤ්ජයත් කියාදෙන්නට හැකි වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ පරිදි මැ භාග්‍යවතුන් වහන්සේ ලෞකික ව්‍යවහාරයෙන් ලෞකික වූ ලෝකෝත්තර වූත් ධර්‍මය ව්‍යවහාර කෙරෙත්.
18. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරනුවන්හට ලෞකික වේ ද? ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරනුවන්හට ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෞකිකශ්‍රෝතයෙහි ගැටේ ද, ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර ශ්‍රෝතයෙහි ගැටේ ද, ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාර ලෞකිකවිඥානයෙන් දනිත් ද, ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තරවිඥානයෙන් දනිත් ද, ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දනිත් ද, ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුන්ගේ ව්‍යවහාරය ආර්‍ය්‍යශ්‍රාවකයෝ දනිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ප. පු: ‘ලෞකිකාර්‍ත්‍ථය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වෙයි, ලෝකෝත්තරාර්‍ත්‍ථය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’ යනු නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්‍මය දේසනා කරන්නාහු නො ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ ලෞකික වූත් ලෝකෝත්තර වූත් ධර්‍මය ව්‍යවහාර කෙරෙත් නම්,
අනු. පා: එ කරුණින් භවත, ‘ලෞකිකධර්‍මය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වෙයි. ලෝකෝත්තරධර්‍මය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වෙයි.
20. ස. පු: ලෞකිකධර්‍මය ව්‍යවහාර කරන භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික වේ ද, ලෝකෝත්තරධර්‍මය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය මාර්‍ග වේ ද, අමාර්‍ගය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අමාර්‍ග වේ ද, ඵලය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය ඵල වේ ද, අඵලය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අඵල වේ ද, නිර්‍වාණය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය නිර්‍වාණ වේ ද, අනිර්‍වාණය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අනිර්‍වාණ වේ ද, සංඛතය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංඛත වේ ද, අසංඛතය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංඛත වේ ද, රූපය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය රූප වේ ද, අරූපය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අරූප වේ ද, වේදනාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය වේදනා වේ ද, අවේදනාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අවේදනා වේ ද, සංඥාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංඥා වේ ද, අසංඥාව ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංඥා වේ ද, සංස්කාර ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය සංස්කාර වේ ද, අසංස්කාර ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අසංස්කාර වේ ද, විඥානය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය විඥාන වේ ද, අවිඥානය ව්‍යවහාර කරන බුදුරදුන්ගේ ව්‍යවහාරය අවිඥාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
වෝහාරකථා නිමි.
2. 11.
නිරෝධකථා
[‘අප්පටිසංඛානිරෝධය’ හා ‘පටිසංඛානිරොධය’ හා දෙක එක් කොට ගෙන ‘නිරෝධසත්‍යය නම් මේ’ යයි ගත් ලබ්ධියෙක් ඇත. මහිංසාසක අන්‍ධක නිකායවාසීන්ගේ සෙයිනි. ඒ වාද බිඳුනට නිරෝධකථා එයි.]
1. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛනිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: දුඃඛනිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (දෙඅයුරෙකින් දුඃඛනිරෝධ වන හෙයිනි.)
ස. අනු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුඃඛසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමුදයසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ගසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: නිරෝධසත්‍යයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද ... නිලීයනස්ථානයෝ දෙදෙනෙක් ඇද්ද ... සරණයෝ දෙදෙනෙක් ඇද්ද ... පරායණයෝ දෙදෙනෙක් ඇද්ද ... අච්‍යුතයෝ දෙදෙනෙක් ඇද්ද ... අමෘතයෝ දෙදෙනෙක් ඇද්ද ... නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: නිර්‍වාණයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නිර්‍වාණයන් දෙදෙනාගේ උච්චනීචතායෙක් හෝ හීනප්‍රණීතතායෙක් හෝ උත්කර්‍ෂාවකර්‍ෂයෙක් හෝ සීමායෙක් හෝ භෙදයෙක් හෝ රාජියෙක් හෝ අන්තරිකායෙක් හෝ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
8. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අප්‍රතිසංඛ්‍යානයෙන් නිරුද්ධ වූ (සමුදාචරණ නැති පමණින් නිරුද්ධ යයි ගන්නා) සංස්කාරයන් ප්‍රතිසංඛ්‍යාන සඞ්ඛ්‍යාත ලෝකෝත්තර ඥානයෙන් (ඒකාන්තයෙන්) නිරුද්ධ කෙරෙත් (අනුත්පත්තියට පමුණුවත්) නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ සංස්කාරයන් ප්‍රතිසංඛ්‍යානයෙන් මැ නිරුද්ධ කෙරෙත් නම්,
අනු. පා: භවත, නිරෝධයෝ දෙදෙනෙකැ යි නො කියැයුතු මැ යැ.
9. ප. පු: නිරෝධයෝ දෙදෙනෙකැයි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්ත භග්න වූවාහු නො ද? ප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්ත භග්න වූවාහු නො ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් අප්‍රතිසංඛ්‍යානනිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්තභග්න වෙත් නම්, ප්‍රතිසංඛ්‍යාන නිරුද්ධ වූත් සංස්කාරයෝ අත්‍යන්තභග්න වෙත් නම්,
අනු. පා: භවත, එ කරුණින් ‘නිරෝධයෝ දෙදෙනෙකි’ යි කියැයුතු මැ යැ.
10. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතිසංඛානනිරුද්ධ වූත් සංස්කාරයෝ අරීමඟට පැමිණ නිරුද්ධ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අප්‍රතිසංඛානනිරුද්ධ සංස්කාරයෝ ආර්‍ය්‍යමාර්‍ගයට පැමිණ නිරුද්ධ වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: නිරෝධයෝ දෙදෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතිසංඛාන නිරුද්ධ සංස්කාරයෝ යළි නූපදනාහු වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අප්‍රතිසංඛානනිරුද්ධ සංස්කාරයෝ යළි නූපදනාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
අනු. පා: එ කරුණින් ‘නිරෝධයෝ දෙදෙනෙකි’ යි නො කියැයුතු මැ යැ.
නිරෝධකථා නිමි.
ද්විතීයවර්‍ගය නිමි.
එයට උද්දාන:
පරූපහාරකථා යැ, අඤ්ඤාණකථා යැ, කඞ්ඛාකථා යැ, පරවිතරණකථා යැ, වචීභේදකථා යැ, දුක්ඛාහාරකථා යැ, චිත්තට්ඨිතිකථා යැ, කුක්කුළකථා යැ, ඒකාභිසමයකථා යැ, වෝහාරකථා යැ, නිරෝධකථා යැ යි එකදසකථායෙකි.
අභිධර්‍මපිටකයෙහි
කථාවස්තුප්‍රකරණය
ද්විතීය භාගය
ඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
තෘතීය වර්‍ගය
3. 1.
බලකථා
[අනුරුද්ධ සංයුක්තයෙහි එන “ඉමෙසඤ්ච පනාහං ආවුසො චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාමි” යනාදි සූත්‍ර ප්‍රදේශ නුනුවණින් ගෙන ‘ තථාගතබලය ශ්‍රාවක සාධාරණ යැ’ යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. අන්‍ධකනිකාය වාසීන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට බලකථා එයි.]
1. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තථාගතබල ශ්‍රාවකබල වේ ද, ශ්‍රාවකබල තථාගතබල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ඒ තථාගතබලය මැ ඒ ශ්‍රාවකබල වේ ද, ඒ ශ්‍රාවක බලය මැ ඒ තථාගතබල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: තථාගතබල ශ්‍රාවකසාධාරණ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.