ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම්සේ මහාසමුද්‍රය අනුපූර්‍වනිමන වේ ද, අනුපූර්‍වප්‍රවණ වේ ද, අනුපූර්‍වප්‍රාග්භාර වේ ද, ආයතමාර්‍ගයෙන් (එකඑල්ලේ) මැ ප්‍රපාත නො වේ ද, මහණෙනි, එසේ මැ මේ ධර්‍මවිනයෙහි අනුපූර්‍වශික්‍ෂා අනුපූර්‍වක්‍රියා අනුපූර්‍වප්‍රතිපත් ඇත. ආයතමාර්‍ගයෙන් මැ අර්‍හත්ත්‍වප්‍රතිවේධ නො වෙතියි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය ඇත.
30. ප. පු: අනුපූර්‍වාභිසමය නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“කඹුරා ස්වර්‍ණයාගේ මල හරනාක් සෙයින් ප්‍රශස්තබුද්ධි ඇති ශ්‍රාවක පිළිවෙළින් කෙණෙහි කෙණෙහි මඳ මඳ කොට තමාගේ කෙලෙස්මල නඟාපියන්නේය” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය ඇත.
31. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්‍මත් ගවම්‍පති තෙරණුවෝ භික්‍ෂූන්ට තෙල කීවාහු නො වේ ද: “ඇවැත්නි, බුදුන් හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: මහණෙනි, යම් සව්වෙක් දුක් දක්නේ වේ නම්, හේ දුඃඛසමුදයත් දක්නේ යැ, දුඃඛනිරෝධයත් දක්නේ යැ, දුඃඛනිරොධගාමිනීප්‍රතිපත්ති දු දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛසමුදය දක්නේ වේ නම්, හේ දුඃඛයත් දක්නේ යැ, දුඃඛනිරෝධයත් දක්නේ යැ, දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපත්ති දු දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛනිරෝධය දක්නේ වේ නම්, හේ දුඃඛය ද දක්නේ යැ, දුඃඛසමුදය ද දක්නේ යැ, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපත් ද දක්නේ යැ. යම් සව්වෙක් දුඃඛනිරොධගාමිනීප්‍රතිපත්ති දක්නේ වේ නම්, හේ දුඃඛය ද දක්නේ යැ, දුඃඛසමුදය ද දක්නේ යැ, දුඃඛනිරෝධය ද දක්නේ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය නො කියැයුතු යැ.
32. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“උහුට දර්‍ශනසම්පත් උදා වන්නා හා මැ ධර්‍මයෝ තුන් දෙනෙක් හරන ලද වෙත්: සත්කායදෘෂ්‍ටි යැ විචිකිත්‍සා යැ, යම් ශීලව්‍රතයෙක් හෝ ඇද්ද, එ ද වෙයි. සිව් අවායෙන් විප්‍රමුක්ත ද වූයේ ෂට්අභිස්ථාන කරන්නට ද හේ නො නිසි වේ ය” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් අනුපූර්‍වාභිසමය නො කියැයුතු යැ.
33. ස. පු: අනුපූර්‍වාභිසමය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයකු හට පහ කළ ක්ලේශරජස් ඇති පහවැ ගිය ක්ලේශමල ඇති ධර්‍මචක්‍ෂුස උදා දින් ද, කෙසේ යැ යත්: ‘යම්කිසි සමුදය ස්වභාවයෙක් ඇත් නම් එ හැම නිරෝධස්වභාව ඇති’ යි කියා යි. මහණෙනි, ඒ දර්‍ශනෝත්පාද උදාපත් වන්නා හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට ත්‍රිවිධ සංයෝජනයෝ ප්‍රහීණ වැ යෙති: සක්කායදෘෂ්ටි යැ විචිකිත්‍සා යැ ශීලව්‍රතපරාමර්‍ශ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘අනුපූර්‍වාභිසමය ඇති’ යි නො කියැයුතු යි.
අනුපූර්‍වාභිසමයකථා නිමි.
2. 10.
වෝහාරකථා
[භාග්‍යවතුන් වහන්සේ ලෝකෝත්තර ව්‍යවහාරයෙන් ව්‍යවහාර කෙරෙති’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් වාදීන්ගේ වාද බිඳුනට වෝහාරකථා එයි.]
1. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තර ශ්‍රෝත්‍රයෙහි ව්‍යවහාරය ගැටේ ද, ලෞකික ශ්‍රෝත්‍රයෙහි නො ගැටේ ද, ලෝකෝත්තර විඥානයෙන් ව්‍යවහාරය දනිත් ද, ලෞකික විඥානයෙන් නො දනිත් ද, ආර්‍ය්‍යශ්‍රාවකයෝ ව්‍යවහාරය දනිත් ද, පුහුදුන්හු නො දනිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: භාග්‍යවත් බුදුරදුන් ගේ ව්‍යවහාරය ලෞකික ශ්‍රෝත්‍රයෙහි ගැටෙන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකිකශ්‍රෝතයෙහි ගැටේ නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු යැ.
3. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික විඥානයෙන් දනිත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෞකික විඥානයෙන් දනිත් නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
4. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දන්නාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය පුහුදුන්හු දනිත් නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
5. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ග යැ ඵල යැ නිර්‍වාණ යැ ශ්‍රෝතාපත්තිමාර්‍ග යැ ශ්‍රෝතාපත්තිඵල යැ සකෘදාගාමීමාර්‍ග යැ සකෘදාගාමිඵල යැ අනාගාමීමාර්‍ග යැ අනාගාමීඵල යැ අර්‍හත්ත්‍වමාර්‍ග යැ අර්‍හත්ත්‍වඵල යැ සීවටනැ සම්‍යක්ප්‍රධාන යැ ඍද්ධිපාදයෝ යැ ඉන්‍ද්‍රිය යැ බල යැ බෝධ්‍යඞ්ගයෝ යැ යනු ව්‍යවහාර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාර අසන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය වේ ද, ශ්‍රෝතයෙහි ගැටේ ද, ශ්‍රෝතයට අපාථගත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.. ...
7. ස. පු: ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය නො වන්නේ මැ වේ ද, ශ්‍රෝතයෙහි නො ගැටෙන්නේ නො වේ ද, ශ්‍රෝතයට අපාථ වැ නො එන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය ශ්‍රෝතවිඥේය නො වේ නම්, ශ්‍රෝතයෙහි නො ගැටේ නම්, ශ්‍රෝතයට අපාථ වැ නො පැමිණේ නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
8. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි ඇලෙන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට යෝග්‍ය වේ ද, රජනයට යෝග්‍ය වේ ද, කමනයට හිත වේ ද, මදනයට හිත වේ ද, බන්‍ධනයට හිත වේ ද, මූචර්‍ඡනයට හිත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට හිත නො වන්නේ රජනයට හිත නො වන්නේ කමනයට හිත නො වන්නේ මදනයට හිත නො වන්නේ බන්‍ධනයට හිත නො වන්නේ මූචර්‍ඡනයට හිත නො වන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය රාගස්ථානයට හිත නො වේ නම්, රජනයට හිත නො වේ නම්, කමනයට හිත නො වේ නම්, මදනයට හිත නො වේ නම්, බන්‍ධනයට හිත නො වේ නම්, මූචර්‍ඡනයට හිත නො වේ නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
10. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි අප්‍රීති-ද්වේෂ කරන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි වේ ද, කෝප කරනුවට නිසි වේ ද, ප්‍රතිඝ කරනුවට නිසි වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි නො වන්නේ කෝප කරනුවට නිසි නො වන්නේ ප්‍රතිඝ කරනුවට නිසි නො වන්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය ද්වේෂ කරනුවට නිසි නො වේ නම්, කෝප කරනුවට නිසි නො වේ නම්, ප්‍රතිඝ කරනුවට නිසි නො වේ නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු යැ.
12. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි මුළා වන යම් මැ කෙනෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලෝකෝත්තරධර්‍මය මෝහයට හිත වේ ද, නුනුවණ කරනු වේ ද, අචක්‍ෂුස කරනු වේ ද, ප්‍රඥා නිරෝධ ඇති කරනු වේ ද, විඝාතපක්‍ෂයෙහි වූයේ වේ ද, නිවන් පිණිස නො පැවැතුම් ඇති වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: ලෝකෝත්තරධර්‍මය මෝහයට යෝග්‍ය නො වන්නේ නුනුවණ කරනු නො වන්නේ අචක්‍ෂුස කරනු නො වන්නේ ප්‍රඥාවෘද්ධික වන්නේ විඝාතපක්‍ෂ ඇති නොවන්නේ නිවන් පිණිස පවත්නේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් ලෝකෝත්තරධර්‍මය මෝහයට නිසි නො වේ නම්, නුනුවණ කරනු නො වේ නම්, අචක්‍ෂුස කරනු නො වේ නම්, ප්‍රඥාවෘද්ධික වේ නම්, විඝාතපක්‍ෂ ඇති නො වේ නම්, නිවන් පිණිස පවත්නේ වේ නම්,
අනු. පා: භවත, ‘භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ’යයි නො කියැයුතු මැ යැ.
14. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය ලෝකෝත්තර වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරයෙහි අසන යම් මැ කෙනෙක් ඇද්ද, එ හැම මාර්‍ගය වඩත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ස. පු: භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසන යම් මැ කෙනෙක් ඇද්ද, ඒ හැම මාර්‍ගය වඩත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: බල් පුහුදුන්හු භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසත් ද, බල් පුහුදුන්හු මාර්‍ගය වඩත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: මාතෘඝාතකයෝ ... පිතෘඝාතකයෝ ... අර්‍හත්ඝාතකයෝ ... රුධිරොත්පාදකයෝ ... සඞ්ඝභෙදකයෝ භාග්‍යවත් බුදුරදුන්ගේ ව්‍යවහාරය අසත්. සඞ්ඝභෙදකයෝ මාර්‍ගය වඩත් ද?