Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 4701-4800 න් 15036

ස. අනු: සුඛවේදනා ඇත්තේ මැ නු: කායිකසුඛ යැ චෛතසිකසුඛ යැ දිව්‍යසුඛ යැ මානුෂසුඛ යැ ලාභසුඛ යැ සත්කාරසුඛ යැ යානසුඛ යැ ශයනසුඛ යැ ඓශ්චර්‍ය්‍යසුඛ යැ ආධිපත්‍යසුඛ යැ ගෘහීසුඛ යැ ශ්‍රාමණ්‍යසුඛ යැ සාස්‍රවසුඛ යැ අනාස්‍රවසුඛ යැ උපධිසුඛ යැ නිරුපධිසුඛ යැ සාමිෂසුඛ යැ නිරාමිෂසුඛ යැ සප්‍රීතිකසුඛ යැ නිෂ්ප්‍රීතිකසුඛ යැ ධ්‍යානසුඛ යැ විමුක්තිසුඛ යැ කාමසුඛ යැ නෛෂ්ක්‍රම්‍යසුඛ යැ ප්‍රවිවේකසුඛ යැ උපශමසුඛ යැ සම්බෝධසුඛ යැ කියා යි.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කායිකසුඛ යැ ... සම්බෝධසුඛ යැ’යි සුඛවේදනා ඇත් නම්,
අනු. පා: භවත, එකරුණින් සර්‍වසංස්කාරයෝ අවධි නො කොට උෂ්ණභෂ්මසදෘශයහයි නො කියැයුතු.
2. ස. පු: සර්‍වසංස්කාරයෝ අනවධි කොට උෂ්ණභෂ්මසදෘශ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘කායිකදුඃඛ යැ චෛතසිකදුඃඛ යැ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයහ’යි මෙසේ සර්‍වසංස්කාරයෝ දුඃඛවේදනා සහගත වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: ‘සර්‍වසංස්කාරයෝ අවධි නො කොට කුක්කුල සදෘශයහ’යි නො කියැයුතු ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: “මහණෙනි, හැම ආදීප්ත යැ. මහණෙනි, කිනම් හැම ආදීප්ත ද? මහණෙනි, චක්‍ෂුස ආදීප්ත යැ. රූපයෝ ආදීප්තයහ. චක්‍ෂුර්විඥානය ආදීප්ත යැ. චක්‍ෂුඃසංස්පර්‍ශය ආදීප්ත යැ චක්‍ෂුඃසංස්පර්‍ශ හේතුයෙන් සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආදීප්ත යැ. කුමකින් ආදීප්ත වේ ද? රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ආදීප්ත යැ. ජාති ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෙන් ආදීප්ත යැ යි කියමි. ශ්‍රෝතය ආදීප්ත යැ ශබ්දයෝ ආදීප්තයහ ... ඝ්‍රාණය ආදීප්ත යැ ගන්‍ධයෝ ආදීප්තයහ ... ජිහ්වා ආදීප්ත යැ රසයෝ ආදීප්තයහ ... කාය ආදීප්ත යැ ස්පර්‍ශයෝ ආදීප්තයහ ... මනස ආදීප්ත යැ ධර්‍මයෝ ආදීප්තයහ ... මනෝවිඥාන ආදීප්ත යැ මනඃසංස්පර්‍ශ හේතුයෙන් සුඛ වේවයි දුඃඛ වේවයි අදුඃඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආදීප්ත යි. කුමකින් ආදීප්ත වේ ද, රාගාග්නියෙන් ද්වේෂාග්නියෙන් මොහාග්නියෙන් ආදීප්ත යැ. ජාති ජරා මරණ ශෝකපරිදේවදුඃඛදෞර්‍මනස්‍ය උපායාසයෙන් ආදීප්ත යැ යි කියමි” භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘සර්‍වසංස්කාරයෝ අනවධි කොට හුණුබහස්ම වැනියහ’ යි කියමි.
4. ස. පු: සර්‍වසංස්කාරයෝ අනවධි කොට උෂ්ණභස්ම සදෘශ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො: “මහණෙනි, කාමගුණයෝ මොහු පස්දෙනෙකි. කවර පස්දෙනෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ චක්‍ෂුර්විඥේය රූපයෝ යැ, ශ්‍රෝතවිඥේය ශබ්දයෝ යැ ... ඝ්‍රාණවිඥේය ගන්‍ධයෝ යැ ... ජිහ්වාවිඥේය රසයෝ යැ ... ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ කායවිඥේය ස්පර්‍ශයෝ යි. මහණෙනි, මුහු පඤ්චකාමගුණයහ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් “සර්‍වසංස්කාරයෝ අවධි රහිත කොට උෂ්ණභස්ම සදෘශයහ යි නො කියැයුතු යැ.
5. ප. පු: ‘සර්‍වසංස්කාරයෝ මර්‍ය්‍යාදා රහිත කොට හුණුහළු වැනියහ’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු “මහණෙනි, තොපට ලාභයෙක. මහණෙනි, තොපට මනා ලැබීමෙක. බඹසරවස් පිණිස තොපට ක්‍ෂණයෙක් ලැබිණ. මහණෙනි, මා විසින් ඵස්සායතනික නිරයයෝ සදෙනෙක් දක්නා ලදහ. එහි ඇසින් යම් මැ රූපයක් දක්නේ ද, අනිෂ්ට රූපයක් (ස්වභාවයක්) මැ දක්නේ යැ. ඉෂ්ට රූපයක් නො දක්නේ යැ. අකාන්තරූපයක් මැ දක්නේ යැ. කාන්තරූපයක් නො දක්නේ යැ. අමනාපරූපයක් මැ දක්නේ යැ. මනාපරූපයක් නො දක්නේ යැ. කනින් යම් මැ ශබ්දයක් අසා ද ... නැහැයෙන් යම් මැ ගන්‍ධයක් අසා ද ... දිවින් යම් මැ රසයක් ආස්වාද කෙරේ ද ... කයින් යම් මැ ස්පර්‍ශයක් ස්පර්‍ශ කෙරේ ද ... සිතින් යම් මැ දන්නේ ද, අරමුණ අනිෂ්ටරූපයක් මැ දන්නේ යැ, ඉෂ්ටරූපයක් නො දන්නේ යැ. අකාන්තරූපයක් මැ දන්නේ යැ, කාන්තරූපයක් නො දන්නේ යැ. අමනාපරූපයක් මැ දන්නේ යැ, මනාපරූපයක් නො දන්නේ යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘සර්‍වසංස්කාරයෝ නිෂ්පර්‍ය්‍යාය කොට හුණුඅළු වැනියහ’යි කියැයුතු යැ.
6. ස. පු: සර්‍වසංස්කාරයෝ අවිශේෂ කොට කුකූල සදෘශ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, තොපට ලාභයෙක. මහණෙනි, තොපට මනා ලැබීමෙක. තොප විසින් බ්‍රහ්මචර්‍ය්‍යවාසය සඳහා ක්‍ෂණයෙක් ලැබිණ. මහණෙනි, මා විසින් ඵස්සායතනික නම් වූ ස්වර්‍ගයෝ සදෙනෙක් දක්නාලදහ. එහි දී ඇසින් යම් මැ රූපයක් දක්නේ නම් ඉෂ්ට රූපයක් (ස්වභාවයක්) මැ දක්නේ යැ, අනිෂ්ටරූපයක් නො දක්නේ යැ. කාන්තරූපයක් මැ දක්නේ යැ, අකාන්තරූපයක් නො දක්නේ යැ. මනාපරූපයක් මැ දක්නේ යැ, අමනාපරූපයක් නො දක්නේ යැ. කනින් යම් මැ ශබ්දයක් අසා නම් ... නැහැයෙන් යම් මැ ගන්‍ධයක් අසා නම් ... දිවින් යම් මැ රසයක් ආස්වාද කෙරේ නම් ...
කයින් යම් මැ ස්පර්‍ශයක් ස්පර්‍ශ කෙරේ නම් ... සිතින් යම් මැ දහමක් දන්නේ නම්, ඉෂ්ටරූපයක් මැ දන්නේ යැ, අනිෂ්ටරූපයක් නො දන්නේ යැ. කාන්තරූපයක් මැ දන්නේ යැ, අකාන්තරූපයක් නො දන්නේ යැ. මනාපරූපයක් මැ දන්නේ යැ, අමනාපරූපයක් නො දන්නේ යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් සර්‍වසංස්කාරයෝ අවිශේෂ කොට හුණුහළු වැනියහයි නො කියැයුතු යැ.
7. ප. පු: ‘සර්‍වසංස්කාරයෝ අනවධි කොට හුණුහළු, වැනියහ’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: ‘යමක් අනිත්‍ය වේ නම් ඒ දුඃඛ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො? සර්‍වසංස්කාරයෝ අනිත්‍ය වෙත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: භාග්‍යවතුන් වහන්සේ විසින් “යමක් අනිත්‍ය වේ නම් එය දුඃඛ යැ”යි වදාරන ලද වේ නම්, සර්‍වසංස්කාරයෝ අනිත්‍ය වෙත් නම්,
අනු. පා: භවත, සර්‍වසංස්කාරයෝ අනවධි කොට උණුහළු වැනියහ’යි කියැයුතු මැ යැ.
8. ස. පු: සර්‍වසංස්කාරයෝ මර්‍ය්‍යාදා භේද කොට කුක්කුළ වැනි වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දානය අනිෂ්ටඵල වේ ද, අකාන්තඵල වේ ද, අමනෝඥඵල වේ ද, සේචනකඵල වේ ද, දුක් වඩන්නේ වේ ද, දුඃඛවිපාක වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: සීලය ... උපෝෂථය ... භාවනාව ... බ්‍රහ්මචර්‍ය්‍යය අනිෂ්ටඵල වේ ද, අකාන්තඵල වේ ද, අමනෝඥඵල වේ ද, සේචනකඵල වේ ද, දුක් වඩන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: දානය ඉෂ්ටඵල කාන්තඵල මනෝඥඵල අසේචනකඵල ඇත්තේ වේ ද, සුව වඩන්නේ වේ ද, සුඛවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් දානය ඉෂ්ටඵල කාන්තඵල මනෝඥඵල අසේචනකඵල ඇත්තේ වේ නම්, සුව වඩන්නේ වේ නම්, සුඛවිපාක වේ නම්,
අනු. පා: භවත, සියලු සංස්කාරයෝ මර්‍ය්‍යාදා නො කොට උණුහළු වැන්නහ’යි නො කියැයුතු යැ.
ස. අනු: ශීලය ... උපෝසථය ... භාවනාව ... බ්‍රහ්මචර්‍ය්‍යය ඉෂ්ටඵල කාන්තඵල මනෝඥඵල අසේචනකඵල ඇත්තේ වේ ද, සුව වඩන්නේ වේ ද, සුඛවිපාක වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් බ්‍රහ්මචර්‍ය්‍යය ඉෂ්ටඵල කාන්තඵල මනෝඥඵල අසේචනකඵල ඇති නම්, සුව වඩන්නේ නම්, සුඛවිපාක වේ නම්,
අනු. ඨ: භවත, ‘සර්‍වසංස්කාරයෝ මර්‍ය්‍යාදා නො කොට උණුහළු වැනියහ’යි නො කියැයුතු යැ.
9. ස. පු: සර්‍වසංස්කාරයෝ අනවධි කොට කුකූල සදෘශ වෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො:
“(චතුර්මාර්‍ගඥානසන්තෝෂයෙන්) තුෂ්ට වූ ප්‍රකාශිත ධර්‍ම ඇති (වීර්‍ය්‍යබලාධිගතඥාන චක්‍ෂුසින්) බලන්නහුට නිර්‍වාණ සඞ්ඛ්‍යාත උපධිවිවේකය සුඛ වෙයි. ලෝකයෙහි ප්‍රාණීන් කෙරෙහි සංයම යයි කියන ලද නො කිපෙන බව සුඛ වෙයි”.
කාමයන්ගේ සමතික්‍රම සඞ්ඛ්‍යාත විරාගතාව ලෝකයෙහි සුඛ වෙයි. අස්මිමානයාගේ යම් ප්‍රතිප්‍රශ්‍රබ්ධිවිනයෙක් ඇද්ද, තෙල ඒකාන්තයෙන් පරමසුඛ වෙයි”.
”එහෙයින් සුඛයෙන් සුඛයට පැමිණීමෙක් ඇද්ද, ඒ අත්‍යන්තසුඛ මැ වෙයි. ත්‍රිවිධ විද්‍යාවෝ ලබන ලදහු ද තෙල ඒකාන්තයෙන් පරමසුඛ වෙති”යි
සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘සර්‍වසංස්කාරයෝ අනවධි කොට උෂ්ණභස්ම සදෘශයහ’යි නො කියැයුතු යැ.
කුක්කුළකථා නිමි.
අනුපුබ්බාභිසමයකථා
[‘සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල්හට දුඃඛදර්‍ශනයෙන් ද, සමුදය නිරෝධ මාර්‍ගදර්‍ශනයෙන් දැ යි මෙසේ සොළොස් කොටසෙකින් අනුක්‍රමයෙන් ක්ලේශප්‍රහාණ කොට අර්‍හත්ත්‍වප්‍රතිලාභ ඇති’ යි නානාභිසමය ලබ්‍ධි ගත් වාදීහු ඇත. අන්‍ධක සබ්‍බත්‍ථික සම්‍මිතිය භද්‍රයානිකයන් සෙයිනි. උන්ගේ ලබ්‍ධි විවෙචනයට අනුපුබ්බාභිසමයකථා එයි.]
1. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිමාර්‍ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිමාර්‍ගය භවා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් ශ්‍රෝතාපත්තිඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: අනුපූර්‍වාභිසමයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීමාර්‍ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීමාර්‍ගය භවා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් සකෘදාගාමීඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් අනාගාමීමාර්‍ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපූර්‍ව වශයෙන් අනාගාමීමාර්‍ගය භවා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් අනාගාමිඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: අනුපූර්‍වාභිසමයයෙක් ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්මාර්‍ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්මාර්‍ගය භවා ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අනුපූර්‍ව වශයෙන් අර්‍හත්ඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුඟුල් දුඃඛ දර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: සත්‍කායදෘෂ්‍ටි විචිකිත්‍සා ශීලව්‍රතපරාමර්‍ශ තදෙකස්‍ථ ක්ලේශ දැ යි (මෙහි) චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.
ස. අනු: චතුර්‍භාගයක් සෝවන් වූයේත් චතුර්‍භාගයක් සෝවන් නො වූයේත් චතුර්‍භාගයක් ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේත් ප්‍රතිලබ්ධ වූයේත් අධිගත වූයේත් සාක්‍ෂාත්කෘත වූයේත් උපයාගෙන වාස කෙරේ ද, නාමකයින් ස්‍පර්‍ශ කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් නාමකයින් ස්පර්‍ශ නො කොට වාස කෙරේ ද, චතුර්‍භාගයක් සත්තක්‍ඛත්තුපරම සෝතාපන්න වූයේත් කොලංකොල සෝතාපන්න වූයේත් ඒකබීජී සෝතාපන්න වූයේත්, බුද්ධරත්නයෙහි අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේත්, ධර්‍මරත්නයෙහි ... සඞ්ඝරත්නයෙහි ... ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේත්, චතුර්‍භාගයක් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේත් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: සමුදයදර්‍ශනයෙන් ... නිරොධදර්‍ශනයෙන් ... මාර්‍ගදර්‍ශනයෙන් කුමක් බැහැර කෙරේ ද?
ප. වි: සත්‍කායදෘෂ්‍ටි විචිකිත්‍සා ශීලව්‍රතපරාමර්‍ශ තදෙකස්‍ථ ක්ලේශ දැ යි මෙහි චතුර්‍භාගයක් බැහැර කෙරෙයි.