ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු. “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි. නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද: රූපය මෙසේ යැ ... විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යැ’යි. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.
16. ස. පු: රහත්හට සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නාහට නො කියමි. නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්‍රවක්‍ෂය වේ ද? මහණෙනි, ‘මේ දුකැ’යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී පිළිවෙතැ’යි දන්නාහට දක්නාහට ආස්‍රවක්‍ෂය කියමි. මහණෙනි, මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්‍රවක්‍ෂය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.
17. ස. පු: රහත්හට සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, හැම සකසා අභිඥා වශයෙන් නො දන්නේ පරිඥා වශයෙන් නොදන්නේ විරාග වශයෙන් නො හරනේ ප්‍රහාණ වශයෙන් නො හරනේ දුඃඛක්‍ෂයට අභව්‍ය වෙයි ... මහණෙනි, මෙ හැම අභිඥාන වශයෙන් දන්නේ පරිඥාන වශයෙන් දන්නේ විරාග වශයෙන් හරනේ ප්‍රහාණ වශයෙන් හරනේ දුඃඛක්‍ෂයට භව්‍ය වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එකරුණින් ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
18. ස. පු: රහත්හට සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු:
“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාගේ දර්‍ශනසම්පත් පහළ වන්නා හා මැ ... අභිස්ථාන සදෙනකුදු කරන්නට අභව්‍ය වෙති”යි
(වදාළ) සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.
19. ස. පටි: රහත්හට සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් සමයෙක ආර්‍ය්‍යශ්‍රාවකයාහට ‘යම් කිසි සමුදයධර්‍මයෙක් ඇද්ද, එ හැම නිරෝධස්වභාව යැ’යි විරජ වීතමල ධර්‍මචක්‍ෂුස පහළ වී ද, මහණෙනි, ඒ දර්‍ශන සම්පත් පහළ වන්නා හා මැ ත්‍රිවිධ සංයෝජන කෙනෙක් ප්‍රහීණ වෙත්: (එනම්) සත්කායදෘෂ්ටි යැ විචිකිත්සා යැ ශීලව්‍රතපරාමර්‍ශයැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ප: එ කරුණින් ‘රහත්හට සැක ඇති’ යි නො කියැයුතු මැ යැ.
20. ස. පු: රහත්හට සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නො:
“යම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාපී වූ රහත්හට (අනුලෝම ප්‍රත්‍යයාකාරප්‍රතිවේධක වූ) බෝපැකි දහම්හු උපදිත් ද, එකල ඔහුට හැම සැකයෝ පහව යෙති. යම් හෙයෙකින් සහේතුක වූ දුඃඛස්කන්‍ධධර්‍මය දන්නේ වේ ද, එහෙයිනි.
යම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාපී වූ ක්‍ෂීණාස්‍රවයාහට එකැතින් බෝධිපාක්‍ෂිකධර්‍මයෝ උපදිත් ද එසඳ ඔහුට හැම සැකයෝ නිරුද්ධ වෙති. යම්හෙයෙකින් අවිද්‍යාදි ධර්‍මයන්ගේ (අනුත්පාදනිරෝධ සඞ්ඛ්‍යාත වූ) ක්‍ෂය දන්නේ වේ ද, එහෙයිනි.
යම් කලෙකැ කෙලෙස් තවන වැර ඇති ධ්‍යාන කරන බාහිතපාප ක්‍ෂීණස්‍රවයාහට එකැතින් බෝපැකිදහම්හු උපදිත් ද, (ඒ බෝධිපාක්‍ෂිකධර්‍මමාර්‍ගයෙන්) මරසෙන් නස්මින් හිරු අහස බබුළුවන්නාක් සෙයින් සිටුනේ යැ.”
ස්වකීය ආත්මභාවයෙහි ලා (ආලම්බන වශයෙන්) දතයුතු වූ හෝ පරාත්මභාවයෙහි ලා දතයුතු වූ හෝ මේ ප්‍රත්‍යුත්පන්න ආත්මභාවයෙහි වැටෙන හෝ අතීතානාගත ආත්මභාවයෙහි වැටෙන හෝ යම් කිසි විචිකිත්සා කෙනෙක් ඇද්ද, කෙලෙස් තවන වැර ඇති බ්‍රහ්මචර්‍ය්‍යය පුරන ධ්‍යායීහු එ හැම සැක හැරපියත්.
උපන් සැක ඇති ප්‍රාණීන් කෙරෙහි යම් කෙනෙක් සැක ඉක්මැසිටියාහු ද, එහෙයින් සංශය රහිත වූවාහු රාගාදීන් හා විසංයුක්ත වූවාහු වෙත් ද, ඔවුන් විෂයෙහි දුන් දැය මහත්ඵල යි.
මෙහි මෙ බඳු ධර්‍මප්‍රකාශ වෙයි. එහිලා කිසිදු ආර්‍ය්‍යශ්‍රාවකයෙක් කිමැයි සැක නො කෙරෙයි. තරණය කළ ඕඝ ඇති, සිඳැලූ විචිකිත්සා ඇති, ජනෙන්‍ද්‍ර වූ ජිතපඤ්චමාර බුදුන් වඳනම්හ.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: එ කරුණින් ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු මැ යැ.
21. ප. පු: ‘රහත්හට සැක ඇති’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: රහත් වනාහි ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ නො වේ ද? මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ නො වේ ද? තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ වේ නම්, මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ වේ නම්, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ වේ නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රහත්හට සැක ඇති’යි කියැයුතු මැ යැ.
22. ස. පු: රහත් ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත්හි සැක කරන්නේ යැ, මාර්‍ගාමාර්‍ගයෙහි සැක කරන්නේ යැ, තෘණකාෂ්ටවනස්පතීන්ගේ නම්හි සැක කරන්නේ යැ’යි ගෙන රහත්හට සැක ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් වනාහි සෝවත්ඵලයෙහි හෝ සෙදගැමිඵලයෙහි හෝ අනගැමිඵලයෙහි හෝ අර්‍හත්ත්‍වයෙහි හෝ සැක කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ.
කඞ්ඛාකථා නිමි.
2. 4.
පරවිතරණකථා
[මෙ ද අඤ්ඤාණකථායෙහි නිදානය මෙනි]
1. ස. පු: රහත්හට පරවිතරණය (පරා බසින් දැන් මැ) ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් වනාහි පරනෙය වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය (දතයුතු) වූයේ පරප්‍රත්‍යය (අනුන්බස් පිහිට කොට ඇති) වූයේ පරප්‍රතිබද්ධ වූයේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: රහත් වනාහි පරනෙය නො වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත් වනාහි පරනෙය නො වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ නම්, දක්නේ වේ නම්,
අනු. පා: භවත, රහත්හට පරවිතරණා ඇති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: පෘථග්ජනයාහට පරවිතරණා ඇත. ඒ පෘථග්ජනත් පරනෙය වූයේ පරා නිසා ප්‍රාප්තව්‍ය වූයේ පරා හේතු කොට ඇතියේ පරා අයත් කොට ඇතියේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: (තොප මතයෙහි) රහත්හට පරවිතරණා ඇත. ඒ රහත් ද පරනෙය වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය වූයේ පරප්‍රත්‍යය වූයේ පරප්‍රතිබද්ධ වූයේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: (තොප මතයෙහි) රහත්හට පරවිතරණා ඇත. ඒ රහත් ද පරනෙය නො වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පෘථග්ජනයාහට පරවිතරණා ඇත. ඒ පුහුදුනුත් පරනෙය නො වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය නො වූයේ පරහේතු නැතියේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: රහත්හට පරවිතරණා ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්‍මයෙහි පරවිතරණ ඇද්ද, සඟුන් කෙරෙහි පරවිතරණ ඇද්ද, ශික්‍ෂායෙහි පරවිතරණ ඇද්ද, පූර්‍වාන්තයෙහි පරවිතරණ ඇද්ද, අපරාන්තයෙහි පරවිතරණ ඇද්ද, පූර්‍වාන්තාපරාන්තයෙහි පරවිතරණ ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: රහත්හට ශාස්තෲන්වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්‍මයෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැත් නම්, ධර්‍මයෙහි පරවිතරණ නැත් නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැත් නම්,
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණා ඇති’යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: පුහුදුන්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්‍මයෙහි පරවිතරණ ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්‍මයෙහි පරවිතරණ ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: රහත්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්‍මය කෙරෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පුහුදුන්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්‍මයෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගය පුහුන් නො වේ ද, උසුන්මුල් නො වේ ද, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇතියේ නො වේ ද, ප්‍රඥායෙන් කළ අභාව ඇතියේ නො වේ ද? මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, කළ අභාව ඇතියේ වේ නම්, මතු නූපදනා සැහැවි ඇතියේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් නො වේ ද, තාලාවස්තුකෘත නො වේ ද, කළ අභාව ඇතියේ නො වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, කළ අභාව ඇතියේ වේ නම්, මතු නූපදනා සැහැවි ඇතියේ වේ නම්,
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
9. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද ... ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්‍රහාණය පිණිස මාර්‍ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.