ස. අනු: යම් තැනෙක පාත්‍ර ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පාත්‍ර ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යමෙක් පාත්‍රධරා නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් පාත්‍ර නො ධරා නම් ඔහුට බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
7. ස. පු: ‘දෙවියන් කෙරෙහි සම්‍යක්සම්බුද්ධයෝ නූපදිති’යි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් තැනෙක සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද? යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ නූපදිත් ද, එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ උපදිත් ද, එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ නූපදිත් ද, එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලුම්බිනියෙහි භාග්‍යවත්හු උපන්හ. බෝධිමූලයෙහි අභිසම්බුද්ධ වූහ. බරණැස්හි දී භාග්‍යවත්හු විසින් දම්සක් පවත්වනලදි. එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? අන්තන්හි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
8. ස. පු: ‘දෙවියන් කෙරෙහි පසේබුදුවරු නූපදිත්’ නු යි දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් තැනෙක පසේබුදුවරු උපදිත් නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පසේබුදුවරු නූපදිත් නම් එහි බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: යම් තැනෙක පසේබුදුවරු උපදිත් ද, එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පසේබුදුවරු නූපදිත් ද, එහි බඹසරවස් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මධ්‍යමජනපදයෙහි පසේබුදුවරු උපදිති. එහි මැ බඹසරවස් වේ ද? අන් තන්හි බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: ‘දෙවියන් කෙරෙහි ශ්‍රාවකයුග්ම පහළ නො වේ’ නු යි දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ වේ නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ නො වේ නම් එහි බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ වේ නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ නො වේ නම් එහි බඹසරවස් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මගධයෙහි ශ්‍රාවකයුග්ම පහළ විය. එහි මැ බඹසරවස් ඇද්ද? අන් තන්හි බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
9. ප. පු: ‘දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: හැම දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: හැම මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
10. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති පසල්දනව්යෙහි ම්ලෙච්ඡ වූ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
11. ප. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?
ස. වි: යම් තැනක ඇද් ද, එබඳු තැන් ඇත. යම් තැනක නැද් ද, එබඳු තැන් ඇති.
ප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද? සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
12. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: කොතැන්හි ඇද් ද? කොතැන්හි නැද් ද?
ස. වි: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැත. සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇත.
ප. පු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
13. ප. පු: සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
14. ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
ස. වි: යම් තැනෙක ඇද් ද, එබඳු තැන් ඇත. යම් තැනක නැද් ද, එබඳු තැන් ඇති.
ප. අනු: මහණ–මෙහෙණ උවසු–උවැසියන්ගේ ගමන් නැති පසල්දනවියෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද? මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
15. ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: කොතැන්හි ඇද් ද? කොතැන්හි නැද්ද?
ස. වි: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති ප්‍රත්‍යන්තජනපදයෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් නැත. මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇත.
ප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති ප්‍රත්‍යන්තජනපදයෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. පු: මධ්‍යමජනපදයෙහි බඹසරවස් නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
16. ප. පු: මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති පසල්දනවියෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
17. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භගවත්හු විසින් “මහණෙනි, දඹදිව්වැසි මිනිස්සු තුන් කරුණෙකින් උතුරුකුරුදිවයින් වැසි මිනිසුන් ද තව්තිසා වැසි දෙවියන් ද ඉක්මවා සිටිති. කවර තුන් කරුණෙකින යත්: ශුරයෝ යැ, ස්මෘතිමත්හු යැ, මෙහි බඹසරවස් ඇත්තේ යැ යන තුන් කරුණෙනි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: සැවැත්නුවර මැ බඹසරවස් වෙයි, අන් තන්හි බඹසරවස් නැද්ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
18. ස. පු: අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගියසංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගියසංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වූ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට (අර්‍හත්) ඵලෝත්පත්ති කොහි වේ ද?
ප. වි: එ ශුද්ධාවාසයෙහි මැ යැ.
අනු. ඨ: එබැවින් අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වැ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට එහි දී අර්‍හත්ඵලෝත්පත්ති වෙයි.
අනු. පා: එහෙයින් භවත ‘දෙවියන් කෙරෙහි බඹසරවස් නැතැ’ යි නො කියැයුතු මැ යැ …
19. ස. පු: අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වැ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට කෙලෙස්බර බහාතැබීම් කොහි යැ? දුඃඛපරිඥාතය කොහි යැ? ක්ලේශ ප්‍රහාණ කොහි යැ? නිරෝධසාක්‍ෂාත්ක්‍රියා කොහි යැ? අකෝප්‍යප්‍රතිවේධ කොහි යැ?
ප. වි: එහි මැ යැ.
අනු. ඨ: එබැවින් අනගැමි පුඟුල්හට පඤ්චෝරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්චඋද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙයින් ච්‍යුත වැ එහි උපන් අනගැමිහට අකෝප්‍යප්‍රතිවේධ එහි වෙයි.
අනු. පා: එහෙයින් භවත ‘දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’ යි නො කියැයුතු මැ යැ.
ස. පු: අනගැමි පුඟුල්හට පඤ්චෝරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ, මෙයින් ච්‍යුත වැ එහි උපන් අනගැමිහට ඵලෝත්පත්ති එහි යයි, ක්ලේශභාරාවහරණ එහි යයි, දුඃඛපරිඥාත එහි යයි, ක්ලේශප්‍රහාණ එහි යයි, නිරෝධ සාක්‍ෂාත් ක්‍රියා එහි යයි, අකෝප්‍යප්‍රතිවේධ එහි යයි ගන්හි නම් “දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති” යි කවර අර්‍ත්‍ථයෙකින් කියහි.
ප. වි: අනාගාමි පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් ඒ ශුද්ධාවාසයෙහි දී ඵල සාක්‍ෂාත් කෙරේ ද, (අන්‍යමාර්‍ගයක් නො වේ ද) එකරුණනි. (එබැවින් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’යි සේයි.)
20. ස. පු: අනාගාමී පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් ඒ ශුද්ධාවාසයෙහි දී ඵල සාක්‍ෂාත් කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල් එහි භාවිත මගින් මෙහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
21. ස. පු: අනාගාමි පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් එ බඹලොව දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සකෘදාගාමි පුද්ගල මෙලොව පිරිනිවන්පානා පුද්ගල වේ නම් එහි දී භාවිත මාර්‍ගයෙන් මෙහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …