ස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු කිමෙකින් පර්‍ය්‍යුත්‍ථිත වැ පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: රාගපර්‍ය්‍යුත්‍ථිත වැ පිරිහෙත්.
ස. අනු: පර්‍ය්‍යුත්‍ථානය කුමක් නිසා උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: අනුශය නිසා උපදනේ වෙයි.
ස. අනු: රහත්හට අනුශය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. පු: රහත්හට අනුශය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ. (තික්ඛින්‍ද්‍රිය මුදින්‍ද්‍රිය විසින් පිළිකෙව් හා පිළින යි.)
ස. අනු: රහත්හට කාමරාගානුසය පටිඝානුසය මානානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය භවරාගානුසය අවිජ්ජානුසය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු කිමෙකින් පර්‍ය්‍යුත්‍ථිත ව පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: ද්වේෂපර්‍ය්‍යුත්‍ථිත වැ පිරිහෙත් … මෝහපර්‍ය්‍යුත්‍ථිත වැ පිරිහෙත්.
ස. අනු: පර්‍ය්‍යුත්‍ථානය කුමක් නිසා උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: අනුශය නිසා උපදනේ වෙයි.
ස. අනු: රහත්හට අනුශය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හට අනුශය ඇද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හට කාමරාගානුශය … අවිද්‍යානුශය ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
113. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත් බැවින් පිරිහී යන රහත්හට කිමෙක් නම් උපචයට යේ ද? රාගය උපචයට යේ ද? සක්කායදිට්ඨි උපචයට යේ ද? විචිකිච්ඡා උපචයට යේ ද? සීලබ්බතපරාමාස උපචයට යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: ද්වේෂය උපචයට යේ ද? … මෝහය උපචයට යේ ද? සක්කායදිට්ඨි උපචයට යේ ද? විචිකිච්ඡා උපචයට යේ ද? සීලබ්බතපරාමාස උපචයට යේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
114. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රහත්හු (කුශලාකුශල විපාක) රැස් කෙරෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හු (ඵලයෙහි සිටි වන බැවින් විපාක) නෙරත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හු ක්ලේශයන් හැරපියත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හු (තෘෂ්ණාදීන්) ගනිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හු (තෘෂ්ණා සංසීවන වශයෙන්) බැඳෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හු (මාන වශයෙන්) හුවාගනිත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: රහත්හු (ක්ලේශාග්නිය) නිවාපියත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
115. ස. අනු: රහත්හු (කුශලාකුශලයන් ප්‍රහීණ බැවින් උන්ගේ විපාක) වළඳ නො කරන්නාහු, (ඵලයෙහි සිටි වන බැවින්) නො නස්නාහු (ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයෙහි සිටි වන බැවින්) කෙලෙස් නසා සිටියාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු: ඨ: එසේ වන බැවින් රහත්හු (කුශලාකුශලයන් ප්‍රහීණ බැවින් උන්ගේ විපාක) වළඳ නො කරන්නාහු, (ඵලයෙහි සිටි වන බැවින්) නො නස්නාහුදු, (ප්‍රතිප්‍රශ්‍රබ්ධිප්‍රහාණයෙහි සිටි වන බැවින්) කෙලෙස් නසා සිටියාහු වෙති.
අනු. පා: භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙති’ යි නො කියැයුතු මැ යැ.
116. ස. අනු: රහත්හු (ප්‍රහාතව්‍යාභාවයෙන් ක්ලේශයන්) නො හරනාහු, (තෘෂ්ණා මාන දෘෂ්ටීන් ගෘහීතව්‍යාභාවයෙන්) නො ගන්නාහු, හැරපියා සිටියාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු: ඨ: එබැවින් රහත්හු නො හරනාහු නො ගන්නාහු හැරපියා සිටියාහු වෙති.
අනු. පා: භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
117. ස. අනු: රහත්හු තෘෂ්ණා විසින් නො හිවන්නාහු, මාන විසින් නො හුවන්නාහු, විසීවන කොට සිටියාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු: ඨ: එබැවින් රහත්හු නො හිවන්නාහු නො හුවන්නාහු විසීවන කොට සිටියාහු වෙති.
අනු. පා: භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙති’ යි නො කියැයුතු මැ යැ.
118. ස. අනු: රහත්හු කෙලෙස් ගිනි නො නිවන්නාහු, කෙලෙස් ගිනි නො දල්වන්නාහු, කෙලෙස් ගිනි නිවාපියා සිටියාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු: ඨ: එබැවින් රහත්හු නො නිවන්නාහු, නො දල්වන්නාහු, නිවාපියා සිටියාහු වෙති.
අනු. පා: භවත, ‘රහත්හු රහත් බැවින් පිරිහෙතී’ නො කියැයුතු මැ යැ.
පරිහානිකථා නිමි.
1. 3.
බ්‍රහ්මචරියකථා
[මාර්‍ගභාවනා යැ ප්‍රව්‍රජ්‍යා යැ යි බ්‍රහ්මචර්‍ය්‍යවාසයෝ දෙදෙනෙකි. එහි ප්‍රව්‍රජ්‍යාව දෙවියන් කෙරෙහි නැත. මාර්‍ගභාවනාව අසංඥසත්ත්‍වයන් තබා තෙසු දෙවියන් කෙරෙහි ප්‍රතිෂේධ නො වෙයි. එතෙකුදු වුව සම්මිතිය නිකායවාසිහු පරනිර්මිතවශවර්ති දෙවියන් පටන් මතු මතු දෙවියන් කෙරෙහි මාර්‍ගභාවනා බ්‍රහ්මචර්‍ය්‍යවාසය කැමැති නො වෙති. උන්ගේ වාද බිඳුනට බ්‍රහ්මචර්‍ය්‍යකථා එයි.]
1. ස. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: හැම දෙවියෝ ජඩ වෙත් ද? වහතොලු වෙත් ද? අවිඥ වෙත් ද? හස්තමුද්‍රායෙන් බණනාහු වෙත් ද? සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල නො වෙත් ද? හැම දෙවියෝ බුදුන් කෙරෙහි අප්‍රසන්න වෙත් ද? ධර්‍මය කෙරෙහි අප්‍රසන්න වෙත් ද? සඞ්ඝයා කෙරෙහි අප්‍රසන්න වෙත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ පර්‍ය්‍යුපාසනා නො කෙරෙත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ අතින් පැන නො පුළුවුසිත් ද? භාග්‍යවත් සම්බුද්ධයන් වහන්සේ විසින් පැන විසඳු කල සියමන් නො වෙත් ද? හැම දෙවියෝ කර්‍මාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? ක්ලේශාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? විපාකාවරණයෙන් සමන්‍වාගත වෙත් ද? අශ්‍රද්ධ වෙත් ද? අච්ඡන්‍දික වෙත් ද? දුෂ්ප්‍රාඥ වෙත් ද? කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමයට බැසගන්නට අභව්‍ය වෙත් ද? හැම දෙවියෝ මාතෘඝාතක පිතෘඝාතක අර්‍හත්ඝාතක රුධිරොත්පාදක සඞ්ඝභේදක වෙත් ද? හැම දෙවියෝ පණිවා කරන්නාහු අයිනාදන් ගන්නාහු කාමයෙහි මිසහසර ඇතියාහු මුසවා බණන්නාහු පෙහෙසුන් වචන ඇතියාහු පරොස්බස් ඇතියාහු පලප් බණන්නාහු ලොබ බිහිලු වූවාහු ව්‍යාපන්නසිත් ඇතියාහු මිසදිටු ඇතියාහු වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: ජඩ නො වූ වහතොලු නො වූ විඥ වූ හස්තමුද්‍රායෙන් නො බණන්නා වූ සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල වූ දෙවියෝ ඇත්තාහු නො වේ ද? බුදුවරුන්හි පසන්, ධමුරුවන්හි පසන්, සඟුරුවන්හි පසන්, භගවත් සම්බුද්ධයන් පර්‍ය්‍යුපාසනා කරන, භගවත් සම්බුද්ධයන් පැන පුළුවුස්නා, භගවත් සම්බුද්ධයන් විසින් පැන විසඳු කල සතුටු වන දෙවියෝ ඇත්තාහු නො වේ ද? කර්‍මාවරණයෙන් සමන්‍වාගත නො වූ ක්ලේශාවරණයෙන් සමන්‍වාගත නො වූ විපාකාවරණයෙන් සමන්‍වාගත නො වූ සැදැහැ ඇති, කුසලච්ඡන්‍ද ඇති, ප්‍රඥා ඇති, කුශලධර්‍මයෙහි සම්‍යක්ත්‍ව සඞ්ඛ්‍යාත මාර්‍ගනියාමධර්‍මයට බැසගන්නට භව්‍ය වූ දෙවියෝ ඇත්තාහු නො වේ ද? මාතෘඝාතක නො වූ, පිතෘඝාතක නො වූ, අර්‍හත්ඝාතක නො වූ, රුධිරොත්පාදක නො වූ, සඞ්ඝභේදක නො වූ, දෙවියෝ ඇත්තාහු නො වේ ද? පණිවා නො කරන, අයිනාදන් නො ගන්නා, කාමයෙහි මිසහසර නැති, මුසවා නො බණන, පිසුනුබස් නැති, පරොස් බස් නැති, පලප් නො බණන, ලොබ බිහිලි නො වූ ව්‍යාපන්නසිත් නැති දෙවියෝ ඇත්තාහු නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එ බැවින් ජඩ නො වූ වහතොලු නො වූ නුවණැති, හස්තමුද්‍රායෙන් නො බණන, සුභාෂිතදුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට ප්‍රතිබල වූ … දෙවියෝ ඇත. බුදුරුවන්හි පහන් … සම්දිටු ඇති දෙවියෝ ඇත.
අනු. පා: භවත, දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’ යි නො කියැයුතු මැ යැ ….
2. ප. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇත් ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: එහි පැවිද්ද, හිසමුඬු කිරීම, කහවත් ධැරීම්, පාත්‍ර ධැරීම් ඇත් ද? දෙවියන් කෙරෙහි සම්‍යක් සම්බුද්ධයෝ උපදනාහු වෙත් ද? පසේබුදුහු උපදනාහු වෙත් ද? ශ්‍රාවකයුග්ම උපදනේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
3. ස. පු: දෙවියන් කෙරෙහි පැවිද්ද නැති’ යි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැත් ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් තැනෙක පැවිද්ද ඇත් ද එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක පැවිද්ද නැත් ද එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: යම් තැනෙක පැවිද්ද ඇද්ද එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක පැවිද්ද නැත් ද එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
ප. පටි: එසේ යැ. (පසල්වැස්සන් හා අසංඥසත්ත්‍වයන් සඳහා ප්‍රතිඥා යි.)
ස. අනු: යමෙක් පැවිදි වේ නම් ඔහුට මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යමෙක් පැවිදි නො වේ නම් ඔහුට බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
4. ස. පු: දෙවියන් කෙරෙහි හිස මුඬු කිරීම නැතියි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් තැනෙක හිස මුඬු කිරීම ඇත් නම් එහි මැ බඹසරවස් ඇද්ද? යම් තැනෙක හිස මුඬු කිරීම නැත් නම් එහි බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: යම් තැනෙක හිස මුඬු කිරීම ඇති නම් එහි මැ බඹසරවස් ඇද්ද? යම් තැනෙක හිස මුඬු කිරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: යමෙක් මුණ්ඩ වේ නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් මුණ්ඩ නො වේ නම් ඔහුට බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
5. ස. පු: දෙවියන් කෙරෙහි කසාවත් ධැරීම නැතියි යන හේතුවින් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යම් තැනෙක කහවත් ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක කහවත් ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ස. අනු: යම් තැනෙක කහවත් ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක කහවත් ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යමෙක් කහවත් ධරා නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් කහවත් නො ධරා නම් ඔහුට බඹසරවස් නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
6. ස. පු: ‘දෙවියන් කෙරෙහි පාත්‍ර ධැරීම් නැති’යි යන හේතුවින් දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.