Kathāvatthu

Points of Controversy

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 15036 segments

පෙන්වන කොටස් 1401-1500 න් 15036

ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු වැ ඉරියව් කරන කිසිවෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: එබැවින් ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නා සුලු වැ ඉරියව් කරන කිසිවෙක් ඇත.
අනු. පා: එහෙයින් භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ යි කියැයුතු මැ යැ.
309. ස. පු: කයෙහි කය නුවණින් දක්නාසුලු වැ ඉරියව් කරන කිසිවෙක් ඇතියි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කයෙහි කය නුවණින් දක්නාසුලු වැ විහරණ කරන යමෙක් ඇද්ද හෙ මැ පුද්ගල වේ ද? කයෙහි කය නුවණින් නො දක්නාසුලු වැ විහරණ කරන යමෙක් ඇද්ද හේ පුද්ගල නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
310. ස. පු: වේදනායෙහි ... චිත්තයෙහි ... ධර්‍මයෙහි ධර්‍මය අනුව දක්නා සුලු වැ ඉරියව් පවත්වන යමෙක් ඇද්ද හෙ මැ පුද්ගල වේ ද? ධර්‍මයෙහි ධර්‍මය නුවණින් නො දක්නාසුලු වැ ඉරියව් පවත්වන යමෙක් ඇද්ද හේ පුද්ගල නො වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
311. ස පු: ‘කයෙහි කය නුවණින් දක්නාසුලු වැ වාස කරන කිසිවෙක් ඇති’යි කරුණු කොට එකරුණි නු දු සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කය අනෙකෙක් වේ ද? කයෙහි කය නුවණින් දක්නාසුලු වැ වාස කරනුයේ අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: වේදනා අනෙකෙක් වූ ද ... චිත්තය අනෙකෙක් වේ ද ... ධර්‍මයෝ අන්හු වෙත් ද ... ධර්‍මයෙහි ධර්‍මය නුවණින් දක්නාසුලු වැ වාස කරනුයේ අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
312. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගල නො දන්නා ලැබේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: වදාළේ මැ නො? බුදුන් විසින්
“මෝඝරාජය, හැමදා ස්මෘතිමත් වැ ස්කන්‍ධලෝකය සත්ත්‍වශූන්‍යතා විසින් බල. මෙසේ සත්කායදෘෂ්ටිය බිඳ මාරතරණය වෙයි. මෙසේ ස්කන්‍ධලෝකය දක්නහු මෘත්‍යුරාජ නො දක්නේ යැ’යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබෙයි.
313. ස. පු: පුද්ගල බලන්නේ වේ ද? (සුඤ්ඤතො ලෝකං අවෙක්ඛස්සු යනාදි ගාථායෙහි දී පරවාදියා කෙරෙහි ‘බලනුයේ පුද්ගල යැ’ යන ලබ්ධි ඇතියෙන් තෙල ප්‍රශ්න නැඟිණ).
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: රූපකාය සහිත වැ බලන්නේ වේ ද? රූපකාය රහිත වැ බලන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: රූපකාය සහිත වැ බලන්නේ යැ.
ස. අනු: ජීවත් එ මැ ශරීරත් එ මැ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: රූප සහිත වැ බලන්නේ වේ ද? රූප රහිත ව බලන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: රූප රහිත වැ බලන්නේ යැ.
ස. අනු: ජීවය අනෙකෙක් ශරීරය අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
314. ස. පු: පුද්ගල බලන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අභ්‍යන්තරගත වැ බලන්නේ වේ ද? අභ්‍යන්තරයෙන් බැස බලන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: අභ්‍යන්තරගත වැ බලන්නේ යැ.
ස. අනු: ජීව එ මැ ශරීර එ මැ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: අභ්‍යන්තර වැ බලන්නේ වේ ද? බැහැර නික්ම බලන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: බැහැර නික්ම බලන්නේ යැ.
ප. අනු: ජීව අනෙකෙක් වේ ද? ශරීර අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
315. ප. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: බුදුහු සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: වදාළේ මැ නො? බුදුන් විසින්: ආත්මහිත පිණිස පිළිපන් පුද්ගලයෙක් ඇතැයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබෙයි.
316. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ය’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: බුදුහු සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී මැ නො?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: වදාළේ මැ නො? බුදුන් විසින්: “මහණෙනි, එක පුද්ගලයෙක් ලෝකයෙහි උපදනේ බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිස්නට අර්‍ත්‍ථ පිණිස හිත පිණිස සුඛ පිණිස උපදනේ යැ”යි වදාළ සූත්‍රයෙක් ඇත්තේ මැ නො වේ ද?
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. නිග: එ බැවින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ.
317. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වදාළේ මැ නො? බුදුන් විසින් “සර්‍වධර්‍මයෝ අනාත්මයහ”යි මෙ වන් සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වෙයි.
318. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වදාළේ මැ නො? බුදුන් විසින් “උපදනුයේ දුක් මැ උපදනේ යැ. නිරුද්ධ වනුයේ දුක් මැ නිරුද්ධ වෙතියි ගෙන සැක නො කෙරෙයි. විචිකිත්සා නො කෙරෙයි. ඒ ආර්‍ය්‍යශ්‍රාවකහට මෙහි ලා පරප්‍රත්‍යය රහිත ඥානය මැ උපදනේ යැ. කාත්‍යායනය, මෙතෙකින් සම්‍යග්දෘෂ්ටි වෙයි” යනු මෙ වන් සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වෙයි.
319. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වජිරා මෙහෙණ පවිටු මරහට මෙසේ කියුවා නො වේ ද?
“මාරය, කිම ‘සත්ත්‍වයහ’යි ගන්නෙහි යැ. තෙල තාගේ දෘෂ්ටි නො වේ ද? මේ ශුඞ සංස්කාර පුඤ්ජයෙකි. මෙහි සත්ත්‍වයෙක් නො ලැබෙයි.
යම්සේ අඞ්ගසම්භාර හේතුයෙන් රථ සඞ්ඛ්‍යාත ශබ්දයෙක් වේ ද, එ පරිදි විද්‍යාමාන වූ පඤ්චස්කන්‍ධයෙහි ‘සත්ත්‍වයහ’යි සම්මුති වෙයි.
පඤ්චස්කන්‍ධ දුඃඛය මැ පවතින්නේ යැ. දුක මැ සිටුනේ ද නිරුද්ධ වනුයේ ද වෙයි. දුක හැර අනෙකෙක් නැත. දුක හැර අනෙකෙක් නිරුද්ධ නො වෙයි”
යනු මෙ වන් සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යයි නො කියැයුතු වෙයි.
320. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයුෂ්මත් ආනන්‍දස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට තෙල සැල කළාහු නො වේ ද?
“වහන්ස, පඤ්චස්කන්‍ධ ලෝකය ශූන්‍ය යැ, පඤ්චස්කන්‍ධ ලෝකය ශූන්‍යයැ’යි කියනු ලැබේ. වහන්ස, කිපමණෙකින් පඤ්චස්කන්‍ධ ලෝකය ‘ශූන්‍ය යැ’යි කියනු ලැබේ ද? ආනන්‍දය, යම් මැ හේතුවින් ආත්ම බැවින් ද, ආත්මීය බැවින් ද සිස් වේ ද, එහෙයින් පඤ්චස්කන්‍ධලෝකය ‘ශූන්‍ය යැ’යි කියනු ලැබේ. ආනන්‍දය, කිනම් දැයෙක් ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද සිස් වේ ද? ආනන්‍දය, ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද ඇස සිසැ. රූපයෝ සිස්හ ... චක්‍ෂුර්විඥාන සිසැ ... චක්‍ෂුඃසංස්පර්‍ශය සිසැ ... චක්‍ෂුඃසංස්පර්‍ශ හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද සිසැ. ශ්‍රෝත්‍රය සිසැ ... ශබ්දයෝ සිස්හ ... ශ්‍රෝතසංස්පර්‍ශය සිසැ ... ඝ්‍රාණය සිසැ ... ගන්‍ධයෝ සිස්හ ... ජිව්හා සිසැ ... රසයෝ සිස්හ ... කය සිසැ ... ස්පර්‍ශයෝ සිස්හ ... මනස සිසැ ... ධර්‍මයෝ සිස්හ ... මනෝවිඤ්ඤාණය සිසැ ... මනඃසංස්පර්‍ශය සිසැ ... මනඃසංස්පර්‍ශ හේතුයෙන් සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් උපදනේ වේ ද, එ ද ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද සිසැ. ආනන්‍දය, යම් හෙයෙකින් ආත්ම බැවින් ද ආත්මීය බැවින් ද සිස් වේ ද, එහෙයින් ස්කන්‍ධලෝකය සිසැ’යි කියනු ලැබේ”යයි සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ” යයි නො කියැයුතු වේ.
321. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වදාළේ මැ නො? බුදුන් විසින් “මහණෙනි, ආත්මය (අධ්‍යාත්මස්කන්‍ධ කෙරෙහි ‘මම’ යන දෘෂ්ටි) ඇති වත් මැ, මාගේ අත්තනීය (බාහිරපරිෂ්කාර කෙරෙහි තමා සතු දෙය යි දෘෂ්ටි) වන්නේ ද? වහන්ස, එසේ යැ. මහණෙනි, අත්තනිය හෝ ඇති වත් මැ, මාගේ ආත්මය (යන දෘෂ්ටි) වන්නේ ද? වහන්ස, එසේ යැ. මහණෙනි, ආත්මය හා ආත්මීය (යන දෙක) සත්‍ය වශයෙන් ස්ථීර වශයෙන් නො ලැබෙන කල, ‘ඒ ලෝක’ යැ ‘ඒ ආත්ම’ යැයි ද, මම පරලොව ගොස් නිත්‍ය, ධ්‍රැව – ස්ථීර, ශාශ්වත, අවිපරිණාමධර්‍ම (නො නස්නා සැහැවි ඇත්තෙම්) වෙමි. ශශ්වතයන් (චන්‍ද්‍රසූර්‍ය්‍යාදීවස්තූන්) සෙයින් එසේ මැ සිටිමි යි යම් මැ දෘෂ්ටිවිකල්පයෙක් වේ ද, මහණෙනි, මෙය හුදු පිරිපුන් බාලධර්‍මයෙක් නො? වහන්ස, කිම නො වන්නේ වේ ද? වහන්ස, හුදු පිරිපුන් අඥධර්‍මයෙක් මැ යයි” වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වෙයි.
322. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: වදාළේ මැ නො? බුදුන් විසින්: “සෙනියෙනි, මේ ශාස්තෘහු තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යාමාන වැ ඇත. කවර තුන් දෙනෙක යත්: සෙනියෙනි, මෙ ලොව කිසි ශාස්තෘයෙක් මෙලොව මැ ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවයි. පරලොව ද ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවයි. වැලිත් සෙනියෙනි, මෙලොවැ කිසි ශාස්තෘයෙක් ඉහාත්මයෙහි ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවයි. එතෙකුදු වුව, පරලොව ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවයි. සෙනියෙනි, මෙලො වැ කිසි ශාස්තෘයෙක් ඉහාත්මයෙහි ම ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවයි. පරලොව්හිත් ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවයි. සේනිය, එහි යම් ශාස්තෘයෙක් ඉහාත්මයෙහි මැ ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවා ද, පරලොව්හි දු ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවා ද, සෙනියෙනි, මේ ශාස්තෘ ‘ශාශ්වත වාදයහ’යි කියනු ලැබේ.
සෙනියෙනි, එහි යම් ඒ ශාස්තෘයෙක් ඉහාත්මයෙහි ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් පනවා ද, එතෙකුදු වුව පරලොව්හි ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවා ද, සෙනියෙනි, මේ ශාස්තෘ ‘උච්ඡේදවාදයහ’යි කියනු ලැබේ. සෙනියෙනි, එහි යම් ඒ ශාස්තෘයෙක් ඉහාත්මයෙහිත් ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවා ද, පරලොවත් ආත්මය සත්‍ය විසින් ස්ථීර විසින් නො පනවා ද, සෙනියෙනි, මේ ශාස්තෘ සම්‍යක්සම්බුද්ධයහයි කියනු ලැබේ. සෙනියෙනි, මේ ශාස්තෘහු තුන් දෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වැ ඇතැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?