වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වේ.
න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා නිමි.
17. 11.
දක්ඛිණාවිසුද්ධි කථා
[“ඉදින් ප්‍රතිග්‍රාහක කෙරෙන් දක්‍ෂිණාවිශුද්ධි වේ නම්, මහත්ඵල වේ නම්, ‘දායකයා විසින් දන් දෙන ලද යැ, ප්‍රතිග්‍රාහකයා විසින් ඵල නිපයන ලදැ’ යි අනෙකෙක් අනෙකක්හුගේ දානඵල නිපයනු වන්නේ සුඛදුඃඛ පරකෘත බවට පැමිණෙන්නේ යැ. අනෙකෙක් කර්‍ම කරන්නේ යැ. අනෙකෙක් විපාක විඳුනේ යි. එහෙයින් දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ” යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘දක්ඛිණාවිසුද්ධිකථා’ එයි.]
1. ස. පු: දානය දායකයා කෙරෙන් මැ විශුද්ධ වෙ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, අඤ‍්ජලිකරණයට නිසි, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ කිසි ප්‍රතිග්‍රාහකයෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ආහුනනයට නිසි පාහුනනයට නිසි දක්‍ෂිණාවට නිසි අඤ‍්ජලිකරණයට නිසි ලොවට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ කිසි ප්‍රතිග්‍රාහකයෙක් ඇත් නම්,
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
2. ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ටආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘සතර පුරිස්යුග වූ අටාඅරීපුඟුල්හු දක්‍ෂිණාවට නිස්සහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද වී නම්,
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ” යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වේ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සෝවන් පුඟුල් කෙරෙහි දන් දී දක්‍ෂිණා සපයන (අල්පමාත්‍ර දක්‍ෂිණායෙන්) මහත්ඵල උපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සෝවන් පුඟුල් කෙරෙහි දන් දී දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
ස. අනු: සෙදගැමිහට … අනගැමිහට … රහත්හට දන් දී ... දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහත්හට දන් දී දක්‍ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
4. ප. පු: ප්‍රතිග්‍රාහකයා කෙරෙන් දානය විශුද්ධ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: අනෙකෙක් අනෙකක්හට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කරනුයේ අනෙකෙක් විඳුනේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වේ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “ආනන්‍දය, මේ දක්‍ෂිණා විශුද්ධීහු සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: ආනන්‍දය, දායකයා කෙරෙන් විශුද්ධ වන ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ වන දායකයා කෙරෙන් විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා කෙරෙනුදු ප්‍රතිග්‍රාහකයා කෙරෙනුදු විශුද්ධ වන දක්‍ෂිණායෙක් ඇත. ආනන්‍දය, දායකයා කෙරෙනුදු විශුද්ධ නො වන ප්‍රතිග්‍රාහකයා කෙරෙනුදු විශුද්ධ නො වන දක්‍ෂිණායෙක් ඇති. ආනන්‍දය, මොහු සතර දක්‍ෂිණාවිශුද්ධීහු වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
දක්‍ෂිණාවිශුද්ධි කථා නිමි.
සතළොස් වැනි වග නිමි.
එහි උද්දානය:
අත්‍ථි අරහතො පුඤ්ඤූපචයොති කථා යැ, නත්‍ථි අරහතො අකාලමච්චූති කථා යැ, සබ්බමිදං කම්මතෝති කථා යැ, ඉන්‍ද්‍රියබද්ධ කථා යැ, ඨපෙත්‍වා අරියමග්ගන්ති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා යැ, න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා යැ, දක්‍ෂිණාවිශුද්ධි කථා යි.
අෂ්ටාදශ වර්‍ගය
18. 1.
මනුස්සලෝක කථා
[වෛතුල්‍යවාදීහු අප බුදුහු තුසී දෙව්ලොව උපන්නාහු එහි මැ වසන්නාහු වත් මුත් මිනිස්ලොවට නො එන්නාහ’ යි ද, නිර්මිතරූපමාත්‍රය මෙලොව දක්වන්නාහ’යි ද ලබ්ධි ගත්හ. උන්ගේ වාද බිඳුනට ‘මනුස්සලෝකකථා’ එයි.]
1. ස. පු: ‘භාග්‍යවත් බුදුරජහු මිනිස්ලොව සිටියහ’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බුදුන් වුසූ චෛත්‍යයෝ ආරාම විහාර ග්‍රාමනිගමනගරයෝ රාෂ්ට්‍රයෝ ජනපදයෝ ඇත්තාහු නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් බුදුන් වුසූ චෛත්‍ය ආරාම විහාර ග්‍රාම නිගම නගර රාෂ්ට්‍ර ජනපද ඇත් නම්,
ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.
2. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: බුදුහු ලුම්බිනී සල්වෙනෙහි උපන්නාහු නො වේ ද? බෝධිමූලයෙහි අභිසම්බුද්ධ වූවාහු නො වේ ද, බරණැස දී බුදුන් විසින් දම්සක් පවත්වන ලද නො වේ ද, චාපාල චෛත්‍යයෙහි දී ආයුසංස්කාර හරන ලද නො වේ ද, බුදුහු කුසිනාරායෙහි දී පිරිනිවියාහු නො වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් බුදුහු ලුම්බිනියෙහි උපන්නාහු නම් … බුදුහු කුසිනාරායෙහි පිරිනිවියාහු නම්,
ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.
3. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: “මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජමූලයෙහි වාස කෙරෙමි”යි කියා ද “මහණෙනි, මම එක් කලෙක අභිසම්බුද්ධ වැ පළමු කොට උරුවෙල් දනවියෙහි අජපල් නුගරුක් මුල වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක රජගහ නුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප නම ආරාමයෙහි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කෙරෙමි” යි කියා ද බුදුන් විසින් වදාරනලද සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි.
4. ප. පු: භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියාහු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: බුදුහු ලෝකයෙහි ජාත වැ, ලෝකයෙහි සංවර්ධිත වැ, ලෝකය අභිභවා, ලෝකය හා අනුපලිප්ත වැ, වාස කරන්නාහු නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් බුදුහු ලෝකයෙහි ජාත වැ, ලෝකයෙහි සංවර්ධිත වැ, ලෝකය අභිභවා, ලෝකය හා අනුපලිප්ත වැ, වාස කරන්නාහු වේ නම්,
ප. පා: භවත, ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු මැ වෙයි.
මනුස්සලෝක කථා නිමි.
18. 2.
ධම්මදේසනා කථා
[“තුසීපුර වැඩවාස කරන භාග්‍යවත් බුදුහු දහම් දෙසන පිණිස නිර්මිත බුදුන් මිනිස්ලොවට එවූසේක. ආයුෂ්මත් අනඳ තෙරණුවන් විසින් ඔබගේ දහම් පිළිගෙන මිනිස්ලොව දෙසනලදි. භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලද නො වේ” යයි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මදේසනාකථා’ එයි.]
1. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලදැ’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පු: කවරක්හු විසින් දෙසනලද වේ ද?
ප. වි: නිර්මිත බුදුන් විසින් දෙසනලද වෙයි.
ස. අනු: නිර්මිත බුදුහු ජින, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ, සර්‍වදර්ශී, ධර්‍මාස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලදැ’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පු: කවරක්හු විසින් දේසිත වේ ද?
ප. වි: ආයුෂ්මත් අනඳ තෙරුන් විසින් දේසිත වෙයි.
ස. අනු: ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ජින, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ, සර්‍වදර්ශී, ධර්‍මාස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේශිත යැ’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො: “ශාරිපුත්‍රය, මම සැකෙවිනුදු දහම් දෙසන්නෙමි, ශාරීපුත්‍රය, මම විතරිනුදු දහම් දෙසන්නෙමි, ශාරීපුත්‍රය, මම් සකෙව්විතරිනුදු දහම් දෙසන්නෙමි. එතෙකුදුවුවත් වටහනුවෝ දුර්‍ලභයහ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේශිත වෙයි.
4. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේසිත වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මම අභිඥා පිණිස දහම් දෙසමි. අනභිඥා පිණිස නො දෙසමි. මහණෙනි, මම නිදාන සහිත කොට දහම් දෙසමි. නිදාන රහිත කොට නො දෙසමි. මහණෙනි, මම නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසමි. අනෛර්‍ය්‍යාණික කොට නො දෙසමි. මහණෙනි, අනභිඥා පිණිස නො වැ අභිඥා පිණිස දහම් දෙසන, අනිදාන කොට නො වැ සනිදාන කොට දහම් දෙසන, අනෛර්‍ය්‍යාණික කොට නො වැ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන මා විසින් අවවාද කටයුතු වෙයි. අනුශාසනා කටයුතු වෙයි. තවද මහණෙනි, තොපටත් ‘බුදුහු සම්‍යක්සම්බුද්ධයහ, ධර්‍මය ස්වාඛ්‍යාත යැ, සඞ්ඝයා සුප්‍රතිපන්න යැ’ යි තුෂ්ටියට නිස්සැ සිය මනවඩනට නිස්සැ. සොම්නසට නිස්සැ. මේ වෛයාකරණ බණනුලබන කල්හි දශසහශ්‍රිලෝකධාතුව වෙවුලී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලද වෙයි.
ධර්‍මදේශනා කථා නිමි.
18. 3.
කරුණා කථා
[“ප්‍රිය වස්තූන්ගේ විපත්හි සරාගපුද්ගලයන්ගේ රාග වශයෙන් කරුණාප්‍රතිරූපක ප්‍රවෘත්ති දැක රාගය මැ කරුණා නම් වෙයි. එ ද භාග්‍යවතුන් වහන්සේට නැත. එයින් භාග්‍යවත් බුදුන්ට කරුණා නැතැ” යි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කරුණාකථා’ එයි.]
1. ස. පු: භාග්‍යවත් බුදුන්ට ‘කරුණා’ නැද්ද?