ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යි.
2. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද වී නම්,
ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විසුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යැ.
3. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඟනට දන් දී දක්‍ෂිණා ඵල සපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඟනට දන් දී දක්‍ෂිණා ඵල සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණාවිශුද්ධිය කෙරෙති’ යි කියැයුතු මැ යැ.
ස. අනු: සඞ්ඝයාට සිවුරු දී ... පිඬුවා දී ... සෙනසුන් දී ... ගිලන්පසබෙහෙත්පිරිකර දී ... කැවිලි දී ... බොජුන් දී ... පැන් දී දක්‍ෂිණාඵල සපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඟනට පානීය දී දක්‍ෂිණාඵල සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යැ.
4. ප. පු: සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කරන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මාර්‍ගය විශුද්ධ කරන්නේ වේ ද? ඵලය විශුද්ධ කරන්නේ වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා නිමි.
17. 8.
න වත්තබ්බං සඞ්ඝො භුඤෝජතීති කථා
[මාර්‍ගඵල මැ සඞ්ඝ නම් වෙති. මාර්‍ගඵලයෝ කිසිවක් නොවළඳතී. එයින් “සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා’ එයි.]
1. ස. පු: සඞ්ඝ තෙම භෝජන පාන ඛාදන සායන කෙරෙයි’ යනු නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඟබත් කරන උදෙස්බත් කරන යාගුපාන (හුළුකැන් බීම) කරන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඟබත් කරන උදෙස්බත් කරන යාගුපාන කරන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ කියැයුතු මැ යි.
2. ස. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින්: “ගණභෝජන යැ පරම්පරභෝජන යැ අතිරික්තභෝජන යැ අනතරික්තභොජන යැ” යනු වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: “ගණභෝජන යැ පරම්පරභෝජන යැ අතිරික්තභෝජන යැ අනතරික්තභොජන යැ” යනු වදාරන ලද වී නම්,
ස. පා: භවත, එකරුණින් “සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී” කියැයුතු මැ යි.
3. ස. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් (සඟුන් උදෙසා,) අඹපනු යැ දඹපනු යැ ඇටකෙසෙල්පනු යැ මස්කෙසෙල්පනු යැ දැමිදිරසපනු යැ මිදිරසපනු යැ උපුල්පනු යැ බොරළුදමුනුපනු යැ යන අෂ්ටපානයෝ වදාරනලද්දාහු නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: (සඟුන් උදෙසා) අඹපනු යැ දඹපනු යැ ඇටකෙසෙල්පනු යැ මස්කෙසෙල්පනු යැ දැමිදිරසපනු යැ මිදිරසපනු යැ උපුල්පනු යැ බොරළුදමුපනු යැ යන අෂ්ටපානයෝ වදාරනලද්දාහු වී නම්,
ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ යි කියැයුතු මැ යි.
4. ප. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කරන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මාර්‍ගය භෝජන පාන ඛාදන සායන කෙරේ ද? ඵලය භෝජන පාන ඛාදන සායන කෙරේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා නිමි.
17. 9.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා
[“මාර්‍ගඵලයෝ මැ සඞ්ඝ නම් වෙති. මාර්‍ගඵලයනට කිසිවක් දිය නො හැක්ක. පිළිගන්නට ද නො හැක්ක. ඉන් කිසි උපකාරයෙක් මාර්‍ගඵලයනට නැත. එයින් මාර්‍ගඵලයනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා’ එයි.]
1. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වී නම්,
ස. පා: භවත, එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වේ මැ යැ.
2. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වේ නම්,
ස. පා: භවත, එකරුණින් ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ කියැයුතු මැ යි.
3. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “ගෝතමිය, සඟනට දෙව, තොප විසින් සඟුන් කෙරෙහි දුන් කල්හි මම ද පුදනලදුයෙම් වෙමි. සඞ්ඝයා ද පුදන ලද වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වෙයි.
4. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැ යුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කීයේ නො?
“යාග කරන මිනිසුන් විසින්, පින් ලබනු කැමැති ප්‍රාණීන් විසින්, උපධිසම්පත් පිණිස පින් කරනුවන් විසින් කොහි දෙනලද්ද මහත්ඵල වේ දැ? යි.
මඟට පිළිපන්නාහු සතර දෙනෙක, ඵලයෙහි සිටියාහු සතර දෙනෙක, තෙල සඞ්ඝ තෙම, ඍජු වූයේ ප්‍රඥාශීල දෙකින් සමාහිත වෙයි.
යාග කරන මිනිසුන් විසින්, පින් කැමැති ප්‍රාණීන් විසින්, උපධි සම්පත් පිණිස පවත්නා පින් කරනුවන් විසින් සඟුන් කෙරෙහි දුන් දැය මහත්ඵල වෙයි.
තෙල සඞ්ඝ තෙමේ විපුල වූයේ මහද්ගත වූයේ වෙයි. තෙල සඞ්ඝ තෙමේ උද්ධ සඞ්ඛ්‍යාත සාගරය සෙයින් අප්‍රමේය වෙයි. නරවීර ශ්‍රාවක වූ ලොව නැණින් එළි කරන තෙල ශ්‍රේෂ්ඨ සඟහු දහම වදාරති.
යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් මොනොවට දෙන ලදි, මොනොවට පුදන ලදි, මොනොවට යාග කරන ලදී. සඞ්ඝගත වැ පිහිටි ඒ දක්‍ෂිණාව මහත්ඵල යයි බුදුන් විසින් වර්‍ණනා කරන ලදු.
මේ බඳු යාග සිහි කරන යම් කෙනෙක් උපන් තුෂ්ටි ඇති වැ ලෝකයෙහි වාස කෙරෙත් ද, ඔහු මසුරුමල සමූල කොට උදුරාපියා අනින්‍දිත වැ ස්වර්‍ගභූමියට පැමිණෙති” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වෙයි.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා නිමි.
17. 10.
න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා
[“භාග්‍යවත් බුදුහු කිසිවක් නො වළඳති. ලෝකානුවර්‍තන පිණිස වළඳනුවන් සෙයින් තමන් දක්වති. දානය නිරූපකාර හෙයින් උන්වහන්සේ කෙරෙහි පුදන ලද්දේ මහත්ඵල නො වෙයි.” යනුවෙන් මහා පුණ්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා’ එයි.]
1. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇතියන් කෙරෙන් අග්‍ර නො? දෙපා ඇතියන් කෙරෙන් ශ්‍රේෂ්ඨ නො? දෙපා ඇතියන් කෙරෙන් ප්‍රමුඛ නො? දෙපා ඇතියන් කෙරෙන් උත්තම නො? දෙපා ඇතියන් කෙරෙන් ප්‍රවර නො? අසම අසමසම අප්‍රතිසම අප්‍රතිභාග අප්‍රතිපුද්ගල නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇතියන් කෙරෙන් අග්‍ර වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ශ්‍රේෂ්ඨ වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ප්‍රමුඛ වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් උත්තම වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ප්‍රවර වූ නම්, අසම අසමසම අප්‍රතිසම අප්‍රතිභාග අප්‍රතිපුද්ගල වූ නම්,
ස. පා: භවත, ‘එකරුණින් බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ කියයුතු මැ යැ.
2. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් බුදුරදුන් හා සමසම කිසිවෙක් ඇද්ද?
ප. වි: නැත.
ස. ඨ: ඉදින් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් බුදුරදුන් හා සමසම කිසිවෙක් නැත් නම්,
ස. පා: භවත, එකරුණින් ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ කියැයුතු මැ යැ.
3. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“විපුලඵල ඉලියන පුණ්‍යාතීර්‍ට ජනයනත යම සර්‍වඥ කෙනෙක් අන්නපානප්‍රතිග්‍රහණයට අර්‍හ වූවෝ ප්‍රතිග්‍රාහකයන් අතුරෙහි අග්‍රභාවයත ගියෝ ද, මෙලොව වේවයි තදන්‍යලෝකයෙක වේවයි ඒ සර්‍වඥයනට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් හෝ ඔබට සම කෙනෙක් හෝ නැතැ” යි