ප. ඨ: ඉදින් රහත් සෑය පැදකුණු කරනුයේ වී නම්,
ප. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය නැතැ’ යි නො කියැයුතු මැ යැ.
අත්‍ථි අරහතො පුඤඤුපචයොති කථා නිමි.
17. 2.
නත්‍ථි අරහතො අකාලමච්චූති කථා
[“නාහං භික්ඛවේ සඤ්චේතනිකානං කම්මානං කතානං උපචිතානං විපාකං අප්පටිසංවේදිත්‍වා බ්‍යන්තීභාවං වදාමියි. මහණෙනි, කළ රැස් කළ සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්තභාවය මම නො කියමි” යි වදාළ සූත්‍රාර්‍ත්‍ථ නුනුවණින් ගෙන රහත්හු නම් හැම කර්‍මවිපාක විඳලා මැ පිරිනිවියයුතු වෙති. එයින් රහත්හට අකල්මරණ නැතැ’ යි රාජගිරික සිදධාර්ත්‍ථික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නත්‍ථි අරහතො අකාලමච්චූති කථා’ එයි.]
1. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරහන්තඝාතක නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යමෙක් රහතුන් වහන්සේ දිවියෙන් ගළවනුයේ වේ නම්, ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනු වේ ද? ජීවිතය නැති කල්හි ජීවිතශේෂය නැති කල්හි දිවියෙන් ගළවනු වේ ද?
ප. පටිඤ්‍ඤා: ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනුයේ වෙයි.
ස. ඨ: ඉදින් ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනුයේ වී නම්,
ස. පා: භවත, ‘රහත්හට අකල්මරණ නැතැ’ යි නො කියැයුතු මැ යැ.
ස. අනු: ජීවිතය ජීවිතාවශේෂය නැති කල්හි දිවියෙන් ගළවනුයේ වේ ද? අරහන්තඝාතක නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: රහතුන්ගේ කයෙහි විෂ නො වදනේ ද? ශස්ත්‍ර නො වදනේ ද? ගිනි නො වදනේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රහතුන්ගේ කයෙහි විෂ වදනේ ශස්ත්‍ර වදනේ ගිනි වදනේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් රහතුන්ගේ කයෙහි විෂ වදනේ ශස්ත්‍ර වදනේ ගිනි වදනේ වී නම්,
ස. පා: භවත, ‘රහත්හට අකල්මරණ නැතැ’ යි නො කියැයුතු මැ යැ.
4. ස. පු: රහතුන්ගේ කයෙහි විෂ නො වදනේ ද? ශස්ත්‍ර නො වදනේ ද? ගිනි නො වදනේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරහන්තඝාතක නැද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: රහත්හට අකල්මරණ ඇද්ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, කරනලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්තභාවය මම නො කියමි. එ ද දෘෂ්ටධර්‍මයෙහි හෝ උපපද්‍යයෙහි හෝ අපරපර්‍ය්‍යායෙහි වේ” යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. පා: එකරුණින්, ‘රහත්හට අකල්මරණ නැත.
නත්‍ථි අරහතො අකාලමච්චූති කථා නිමි.
17. 3.
සබ්බමිදං කම්මතෝති කථා
[“කම්මුනා වත්තති ලෝකෝ - ලෝකය කර්‍ම හේතුවින් වැටෙයි” යන සූත්‍ර නිසා මෙ හැම කර්‍මවර්‍ත ක්ලේශවර්‍ත විපාකවර්‍ත කර්‍ම හෙයින් මැ වේ” යයි රාජගිරික සිදධාර්ත්‍ථික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සබ්බමිදං කම්මතෝති කථා’ එයි.]
1. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මයත් කර්‍ම හෙයින් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මෙ හැම පූර්‍වකෘතහේතුයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මෙ හැම කර්‍මවිපාකයෙන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: මෙ හැම කර්‍මවිපාක හෙයින් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මවිපාකයෙන් ප්‍රාණඝාත කරන්නේ වේ ද?
ප. පටි: එසේ යැ.
ස. පු: ප්‍රාණඝාතය සඵල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මවිපාක සඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කර්‍මවිපාක අඵල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රාණඝාතය අඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කර්‍මවිපාක හෙයින් අයිනාදන් කරන්නේ වේ ද? මුසවා බණන්නේ වේ ද? ... පෙහෙසුන්බස් බණන්නේ වේ ද? පරොස්බස් බණන්නේ වේ ද? ... පලප්බස් බණන්නේ වේ ද? ... ගෘහසන්‍ධි බිඳුනේ වේ ද? ... ගම් වොලොගන්නේ වේ ද? ... ඒකාගාරික කර්‍ම කරන්නේ වේ ද? ... කඩපලාසොරකම් කරන්නේ වේ ද? ... විරඹුසොරකම් කරන්නේ වේ ද? ගම් නසනුයේ වේ ද? ... නියම්ගම නසනුයේ වේ ද? ... කර්‍මවිපාක හෙයින් දැන් දෙන්නේ වේ ද? ... සිවුරු දෙන්නේ වේ ද? ... පිඬුවා දෙන්නේ වේ ද? ... සෙනසුන් දෙන්නේ වේ ද? ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර (දීම) සඵල වේ ද?
ප. පටි: එසේ යැ.
ස. අනු: කර්‍මවිපාක සඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: කර්‍මවිපාක අඵල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර අඵල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ප. පු: ‘මේ හැම කර්‍ම හෙයින් වෙතී’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“ලෝකය කර්‍ම හේතුවින් පවති, ප්‍රජාව කර්‍ම හේතුවින් පවති. යන්නා වූ රථයාගේ අකුර සෙයින් සත්ත්‍වයෝ කර්‍මනිබන්‍ධන කොට ඇත.
කර්‍ම හේතුවින් කීර්තිප්‍රශංසා ලබයි. කර්‍ම හේතුවින් ධනහානි ද වධබන්‍ධ ද වෙයි. ඒ කර්‍මනානාත්‍වය දැන කුමක් සෙයින් ලෝකයා ‘කර්‍මය නැතැ’ යි කියන්නේ වේදැ?” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටි: එසේ යැ.
ප. පු: ඒ කරුණින් ‘මෙ හැම කර්‍ම හේතුවින් වේ.’
සබ්බමිදං කම්මතෝති කථා නිමි.
17. 4.
ඉන්‍ද්‍රියබද්ධකථා
[‘දුඃඛය ඉන්‍ද්‍රියබද්ධ යැ අතින්‍ද්‍රියබද්ධයැයි ද්විවිධ යි. ඉන්‍ද්‍රියබද්ධය දුකට වස්තු බැවින් දුඃඛ වෙයි. අතින්‍ද්‍රියබද්ධය උදයව්‍යප්‍රතිපීඩනාර්‍ත්‍ථයෙන් ‘යමෙක් අනිත්‍ය වී නම් ඒ දුකැයි’ සඞ්ගෘහීත බැවින් දුඃඛ වෙයි. මේ වෙනස නො ගෙන ‘යම් දුඃඛයක්හුගේ පරිඥා පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍ය වාස කරන්නේ නම්, ඒ ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වෙයි. අනෙකක් දුඃඛ නො වේ’ යයි හේතුවාදින් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඉන්‍ද්‍රියබද්ධකථා’ එයි.]
1. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඉන්‍ද්‍රියබද්ධය මැ අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න වේ ද? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න නො? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න වී නම්, ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,
ස. පා: භවත ‘ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වෙතී’ නො කියැයුතු මැ යැ.
2. ස. පු: අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍යසමුත්පන්න වේ ද? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වේ ද? එ ද දුඃඛ නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඉන්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද? එ ද දුඃඛ නො වන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද, එ ද දුඃඛ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද, එ ද දුඃඛ වේ ද?