පසළොස්වන වග.
එහි උද්දානය:
පච්චයකථා යැ. අඤ්ඤමඤ්ඤපච්චයකථා යැ, අද්ධාකථා යැ, ඛණ ලය මුහුත්තකථා යැ, ආසවකථා යැ, ජරාමරණකථා යැ, සඤ්ඤාවේදයිතකථා යැ, දුතියසඤ්ඤාවේදයිත කථා යැ, තතියසඤ්ඤාවෙදයිත කථා යැ, අසඤ්ඤසත්තූපික කථා යැ, කම්මූපචයකථා යි.
තුන්වැනි පනස යි.
සොළොස්වනවග
16. 1.
නිග්ගහ කථා
[‘ලෝකයෙහි බලප්‍රාප්ත වූ ද වශීභූත වූ ද යම් කෙනෙක් ඇද්ද, ඉදින් ඔහු පරාගේ සිත වසඟ කොට නිගන්නට හෙවත් සංක්ලේශයෙන් වළහන්නට නො හැකි වෙත් නම්, උන්ගේ කිනම් බලප්‍රාප්තියෙක් ද? කවර වශීභාවයෙක් ද? ඒකාන්තයෙන් ඔහු බලප්‍රාප්තියෙනුත් වශීභාවයෙනුත් මෙරමාගේ සිත වසඟ කොට සංක්ලේශයෙන් වළහති’යි මහාසඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිග්ගහ කථා’ එයි.]
1. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ (වසඟ කරන්නේ) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ ‘සිත නො ඇලේවයි දූෂ්‍ය නො වේවයි මුළා නො වේවයි කිලිටි නො වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට උපන් ස්පර්ශය ‘නහමක් නිරුද්ධ වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනෙකෙක් අනෙකකුට උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් සිත ... උපන් ශ්‍රද්ධා ... උපන් වීර්‍ය්‍ය ... උපන් ස්මෘති ... උපන් සමාධි ... උපන් ප්‍රඥා ‘නහමක් නිරුද්ධ වේව’යි මෙසේ නිගන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකු සඳහා රාගය ප්‍රහාණ කෙරේ ද ... ද්වේෂය ප්‍රහාණ කෙරේ ද? ... අනපත්‍රපා ප්‍රහාණ කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස මාර්‍ගය භවා ද? ... සීවටන් භවා ද? ... බෝධ්‍යඞ්ග භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස දුඃඛය පරිඥා කෙරේ ද? සමුදය දුරු කෙරේ ද? නිරෝධය සාක්‍ෂාත් කෙරේ ද? මාර්‍ගය භවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කෙරේ ද? අනෙකෙක් විඳුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“තමා විසින් කළ පාපය තමා කෙලෙසන්නේ යැ. තමා විසින් නො කළ පාපය තමා මැ ශුද්ධ කරන්නේ යැ. ශුද්ධි අශුද්ධි දෙක තමා කෙරෙහි වෙයි. අනෙකෙක් අනෙකකු විශුද්ධ නො කරන්නේ යැ” යි
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
8. ප. පු: ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: බලප්‍රාප්තයෝ ඇත්තාහු නො? වශීභූතයෝ ඇත්තාහු නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් බලප්‍රාප්තයෝ ඇත්තාහු නම්, වශීභූතයෝ ඇත්තාහු නම්,
ප. පා: භවත එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු කියැයුතු මැ යැ.
නිග්ගහකථා නිමි.
16. 2.
පග්ගහකථා
[මෙහි නිදානය ද නිග්ගහකථායෙහි මෙනි.]
1. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ (පාලනය) කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ සිත ‘නොඇලේව යි දූෂ්‍ය නොවේව යි මුළා නො වේව යි කිලිටි නො වේව’යි ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අලෝභකුසලමූලය උපදවා ද, අදෝස කුසලමූලය උපදවා ද, අමොහ කුසලමූලය උපදවා ද, ශ්‍රද්ධා උපදවා ද, වීර්‍ය්‍ය උපදවා ද, ස්මෘති උපදවා ද, සමාධි උපදවා ද, ප්‍රඥා උපදවා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට ‘උපන් ස්පර්ශය නහමක් නිරුද්ධ වේව’යි ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අනෙකෙක් අනෙකකුට ‘උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් චිත්තය ... උපන් ශ්‍රද්ධාව ... උපන් වීර්‍ය්‍යය ... උපන් ස්මෘතිය ... උපන් සමාධි ... උපන් ප්‍රඥා ‘නහමක් නිරුද්ධ වේව’යි ප්‍රග්‍රහ කරන්නේ (වළහන්නේ) වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට අර්‍ත්‍ථ පිණිස රාගය හැරපියා ද, ද්වේෂය හැරපියා ද, මෝහය හැරපියා ද, ... අනපත්‍රපා හැරපියා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස මාර්‍ගය වඩා ද ... සතිපට්ඨාන වඩා ද, ... බෝධ්‍යඞ්ග වඩා ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස දුඃඛය පරිඥා කෙරේ ද, ... මාර්‍ගභාවනා කෙරේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකකුට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කරන්නේ වේ ද? අනෙකෙක් විඳුනේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “තමා මැ කළ පාපය ... අනෙකෙක් අනෙකකු විශුද්ධ නො කෙරේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ”යයි නො කියැයුතු යැ.
9. ප. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: බලප්‍රාප්තයෝ ඇත්තාහු නො? වශීභූතයෝ ඇත්තාහු නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් බලප්‍රාප්තයෝ ඇත්තාහු නම්, වශීභූතයෝ ඇත්තාහු නම්,
ප. පා: භවත එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ” යයි කියැයුතු මැ යැ.
පග්ගහකථා නිමි.
16. 3.
සුඛානුප්පාදාන කථා
[‘එකකු අනෙකක්හට සුඛය දියහෙන්නේ යැයි ලබ්ධිගත් හේතුවාදීන්ගේ වාද බිඳුනට ‘සුඛානුප්පාදානකථා’ එයි.]
1. ස. පු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අනෙකෙක් අනෙකක්හට දුක් දෙන්නේ වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...