1. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපික (අසංඥාසත්ත්‍වොත්පත්ති පිණිස) වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය, අදොසකුසලමූලය, අමෝහකුසලමූලය, ශ්‍රද්ධා වීර්‍ය්‍ය ස්මෘති සමාධි ප්‍රඥා ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය අදොසකුසලමූලය අමෝහකුසලමූලය ශ්‍රද්ධා ... ප්‍රඥා නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය අදොසකුසලමූලය අමෝහකුසලමූලය ශ්‍රද්ධා වීර්‍ය්‍ය ස්මෘති සමාධි ප්‍රඥා නැත් නම්,
ස. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා යැ’ යනු නො කියැයුතු මැ යැ.
3. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට ස්‍පර්‍ශ වේදනා සංඥා චේතනා චිත්ත ඇද්ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට ස්‍පර්‍ශ වේදනා සංඥා චේතනා චිත්ත නැද්ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශ නො කරනුවහට මාර්‍ගභාවනා ... අචිත්තකයාහට මාර්‍ගභාවනා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: ස්‍පර්‍ශකයාහට මාර්‍ගභාවනා ... සචිත්තකයාහට මාර්‍ගභාවනා වෙයි නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: ඉදින් ස්‍පර්‍ශකයාහට මාර්‍ගභාවනා වේ නම් ... සචිත්තකයාහට මාර්‍ගභාවනා වේ නම්,
ස. පා: භවත, ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා යැ’ යනු නො කියැයුතු මැ යැ.
5. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: යම් කිසි කෙනෙක් සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවදනාහු වෙත් නම්, ඔහු හැම අසඤ්ඤසත්තූපිකා නම් වෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් ‘අසඤ්ඤසත්තූපිකා’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මෙහිදු අසංඥී නො? එහිදු අසංඥී නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: ඉදින් මෙහිත් අසංඥී වේ නම්, එහිත් අසංඥී වේ නම්,
ප. පා: භවත, එකරුණින් ‘සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපිකා යැ’යි කියැයුතු මැ යැ.
අසඤ්ඤසත්තුපිකකථා නිමි.
15. 11.
කම්මූපචයකථා
[කර්‍මොපචය වනාහි කර්‍මයෙන් අන්‍ය වූ චිත්තවිප්‍රයුක්ත වූ අව්‍යාකෘත වූ අනාලම්බන වූ එකෙකැයි අන්‍ධක සමමිතීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කම්මූපචය කථා’ එයි.]
1. ස. පු: කර්‍මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්‍පර්‍ශය අනෙකෙක් වේ ද, ස්‍පර්‍ශොපචය අනෙකෙක් වේ ද, වේදනා අනෙකක් වේ ද, වේදනෝපචය අනෙකෙක් වේ ද, සංඥා අනෙකක් වේ ද, සංඥොපචය අනෙකෙක් වේ ද, චේතනා අනෙකක් වේ ද, චේතනෝපචය අනෙකෙක් වේ ද, චිත්තය අනෙකෙක් වේ ද, චිත්තොපචය අනෙකෙක් වේ ද, ශ්‍රද්ධා අනෙකක් වේ ද, ශ්‍රද්ධොපචය අනෙකෙක් වේ ද, වීර්‍ය්‍යය අනෙකෙක් වේ ද, වීර්‍ය්‍යෝපචය අනෙකෙක් වේ ද, ස්මෘති අනෙකක් වේ ද, ස්මෘතිඋපචය අනෙකෙක් වේ ද, සමාධි අනෙකෙක් වේ ද, සමාධිඋපචය අනෙකෙක් වේ ද, ප්‍රඥා අනෙකක් වේ ද, ප්‍රඥොපචය අනෙකෙක් වේ ද, රාගය අනෙකෙක් වේ ද, රාගෝපචය අනෙකෙක් වේ ද, අනොත්තප්පය අනෙකෙක් වේ ද, අනොත්තප්පඋපචය අනෙකෙක් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කර්‍මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මොපචය කර්‍මය හා සහජාත වේ ද,
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කර්‍මොපචය කර්‍මය හා සහජාත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලකර්‍මය හා සහජාත වූ කර්‍මොපචය කුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලකර්‍මය හා සහජාත වූ කර්‍මොපචය කුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ. (චිත්තසම්ප්‍රයුක්තයා සඳහා පිළින යි.)
ස. අනු: සුඛවේදනාසම්ප්‍රයුක්තකර්‍මය හා සහජාත වූ කර්‍මොපචය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දුඃඛවේදනාසම්ප්‍රයුක්ත ... අදුඃඛාසුඛවේදනා සම්ප්‍රයුක්ත කර්‍මය හා සහජාත වූ කර්‍මොපචය අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කර්‍මොපචය කර්‍මය හා සහජාත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අකුශලකර්‍මයා හා සහජාත වූ කර්‍මොපචය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අකුශලකර්‍මයා හා සහජාත වූ කර්‍මොපචය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: සුඛවෙදනාසම්ප්‍රයුක්ත කර්‍මය හා සහජාත වූ කර්‍මොපචය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දුඃඛවේදනාසම්ප්‍රයුක්ත ... අදුඃඛාසුඛවේදනාසම්ප්‍රයුක්තකර්‍මය හා සහජාත වූ කර්‍මොපචය අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කර්‍මය චිත්තය හා සහජාත වෙයි. කර්‍මය සාලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. කර්‍මොපචය සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. කර්‍මොපචය අනාලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මය චිත්තය හා සහජාත වෙයි, කර්‍මය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: කර්‍මය චිත්තය හා සහජාත වෙයි, චිත්තය බිඳෙන්නේ යැ, කර්‍මය බිඳේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි, චිත්තය භිද්‍යමාන යැ, කර්‍මොපචය බිඳේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. චිත්තය භිද්‍යමාන යැ, එකල කර්‍මොපචය නො බිඳේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මය චිත්තයා හා සහජාත වෙයි, චිත්තය භිද්‍යමාන කල්හි කර්‍මය නො බිඳේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: කර්‍මය ඇති කල කර්‍මොපචය වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ කර්‍මය මැ ඒ කර්‍මොපචය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: කර්‍මය පිහිටි කල කර්‍මොපචය වෙයි, කර්මෝපචයෙන් විපාකය උපදනේ වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ඒ කර්‍මය මැ ඒ කර්‍මොපචය වූයේ ඒ කර්‍මවිපාකය වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: කර්‍මය ඇති කලැ කර්‍මොපචය වෙයි, කර්මෝපචයෙන් විපාකය උපදී. විපාකය සාලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කර්‍මොපචය සාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ස. පු: කර්‍මොපචය අනාලම්බන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විපාකය අනාලම්බන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ස. පු: කර්‍මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “පුණ්ණය, මෙ සස්නෙහි කිසි මහණෙක් සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර ... මනසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. හේ සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර අභිසංස්කරණ කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර ... මනස්සංස්කාර අභිසංස්කරණ කොට සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ලෝකයට පැමිණෙයි. සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ලෝකයට පැමිණි තුලුන් සදුඃඛ වූ ද අදුඃඛ වූ ද ස්‍පර්‍ශයෝ පහසිත්. හේ සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ස්‍පර්‍ශයෙන් පහස්නා ලද්දේ සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ව්‍යවකීර්‍ණ සුඛදුඃඛ ඇති වේදනා විඳී. මනුෂ්‍යයන් ඇතැම් දෙවියන් ඇතැම් විනිපාතිකයන් සෙයිනි. පුණ්ණය, මෙසේ භූතයෙන් භූතයක්හුගේ උප්පත්ති වෙයි. යමක් කෙරේ ද එයින් උප්පත්ති වෙයි. ස්‍පර්‍ශයෝ උප්පන්න වූ තුලුන් ස්‍පර්‍ශ කෙරෙත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්‍වයෝ කර්‍මදායාදයහ’යි කියමි”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් කර්‍මය අනෙකෙකැ, කර්‍මොපචය අනෙකෙකැ’යි නො කියැයුතු යැ.
කම්මුපචය කථා නිමි.