ස. අනු: සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දෘෂ්ටධර්‍මසුඛවිහාර නො වූයේ, සමාපත්තෙසිය නො වූ සිත හා … ඒකාලම්බන නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින්, සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ … ඒකාලම්බන වේ නම්,
අනු. පා: භවත, “අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ” යයි ද නො කියැයුතු මැ යැ.
7. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ය’යි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ප. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ යයි ද, රූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි ද, අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: කාමරාගය කාමධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ කාමධාතුපර්‍ය්‍යාපන්න නො?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් කාමරාගය කාමධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ කාමධාතුපර්‍ය්‍යාපන්න වී නම්,
අනු. පා: භවත, එකරුණින් ‘රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවතී යයි ද, රූපධාතුපර්‍ය්‍යාපන්න යයි ද, අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවතී යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න යයි ද නො කියයුතු මැ යැ.
පරියාපන්නකථා නිමි.
14. 8.
අබ්‍යාකතකථා
[විපාක ක්‍රියා රූප නිර්‍වාණ යන චතුර්විධ අව්‍යාකෘතය අවිපාක බැවින් ‘අව්‍යාකෘත’ යයි වදාරනලද යැ. “සස්සතෝ ලොකොති ඛො වච්ඡ අබ්‍යාකතමෙතං” ආදි තන්හි ශාශ්වතාදි භාවයෙන් නො වදාළ බැවින් අව්‍යාකෘත නම් වෙයි. මේ භේදය නො ගෙන පළමු අව්‍යාකෘතය මෙන් මැ දෘෂ්ටිගතය ‘අව්‍යාකෘත’ යයි අන්‍ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘අබ්‍යාකතකථා’ එයි.]
1. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විපාකාව්‍යාකෘත වේ ද? ක්‍රියාව්‍යාකෘත වේ ද? රූප වේ ද? නිර්‍වාණ වේ ද? චක්‍ෂුරායතන වේ ද? ... ස්ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වේදනා ... සංඥා ... චේතනා ... චිත්තය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත ස්පර්‍ශය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිගතය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වේදනා ... සංඥා ... චේතනා ... චිත්තය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිගතය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඵල අවිපාක වේ ද ?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: සඵල සවිපාක නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් සඵල සවිපාක වී නම්,
අනු. පා: භවත, ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු මැ යැ.
7. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ’යි වදාරනලද නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: ‘වද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ’යි වදාරනලද වී නම්,
අනු. පා: භවත, ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “වච්ඡය, මිථ්‍යාදෘෂ්ටි අකුශල වෙයි ... සම්‍යග්දෘෂ්ටි කුශල වේ”යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු යැ.
9. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි: නිරය හෝ යැ තිරිසන්යෝන හෝ යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි නො කියැයුතු යැ.
10. ප. පු: ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “වච්ඡය, ‘ලෝකය ශාශ්වත යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ. වච්ඡය, ‘ලෝකය අශාශ්වත යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ. වච්ඡය, ‘ලෝකය අනන්තවත් යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘතයැ. වච්ඡය, ‘ලෝකය අනන්තවත් යැ’ ... වච්ඡය ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’ ... වච්ඡය ‘ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු වෙයි’ ... වච්ඡය, ‘සත්ත්‍වයා මරණින් මතු නො වෙයි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වෙයි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේත් නො වෙයි’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ආ: එකරුණින් දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙයි.
11. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂපුද්ගල විසින් ලබ්ධි ඇති සැටියෙන් සමාත්ත සමාදින්න යම් මැ කායකර්‍මයකුත් යම් මැ වාක්කර්‍මයකුත් ... යම් මැ මනඃකර්‍මයකුත් ... යම් මැ චේතනාවකුත්, යම් මැ ප්‍රාර්‍ත්‍ථනාවකුත්, යම් මැ ප්‍රණිධියෙකුත්, යම් මැ සංස්කාර කෙනෙකුත් ඇද්ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ට පිණිස අකාන්ත පිණිස අමනාප පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිත්” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි. නො කියැයුතු යැ.
අව්‍යාකෘතකථා නිමි.
14. 9.
අපරියාපන්නකථා
[යම් හෙයෙකින් පෘථග්ජන පුද්ගල ‘කාමයෙහි වීතරාගය’යි කියැයුතු වේ ද, ‘විගතදෘෂ්ටිකහ’යි නො කියැයුතු වේ ද, එහෙයින් ‘දෘෂ්ටිය අපරියාපන්න යැ’යි පූර්‍වශෛලීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරියාපන්නකථා’ එයි.]
1. ස. පු: දෘෂ්ටිගතය අපරියාපන්න වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මාර්‍ග වේ ද? ඵල වේ ද? නිර්‍වාණ වේ ද? ශ්‍රෝතාපත්තිමාර්‍ග වේ ද? ශ්‍රෝතාපත්තිඵල වේ ද? සකෘදාගාමිමාර්‍ග වේ ද? සකෘදාගාමි ඵල වේ ද? අනාගාමිමාර්‍ග වේ ද? අනාගාමිඵල වේ ද? අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද? අර්‍හත්ත්‍වඵල වේ ද? ස්මෘතිප්‍රස්ථාන වේ ද? සම්‍යක්ප්‍රධාන වේ ද? ඍද්ධිපාද වේ ද? ඉන්‍ද්‍රිය වේ ද? බල වේ ද? බෝධ්‍යඞ්ග වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ප. පු: ‘දෘෂ්ටිගතය අපර්‍ය්‍යාපන්න වේය’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පෘථග්ජන පුද්ගල ‘කාමයෙහි වීතරාගය’යි කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: ‘විගතදෘෂ්ටිකය’යි කියැයුතු වේ ද?
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ප. පා: එකරුණින් ‘දෘෂ්ටිගතය අපර්‍ය්‍යාපන්න’ වෙයි.
අපරියාපන්නකථා නිමි.