ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: අයිනාදන් වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: කාමයෙහි මිසහසර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මුසවා වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙර වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පාපකර්‍මසමාදන් වැ දන් දෙන්නහුට පුණ්‍ය යැ අපුණ්‍ය යැ යි උභයකර්‍මයෝ වැඩෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පුණ්‍ය යැ අපුණ්‍ය යැ යි උභයකර්‍මයෝ වැඩෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට යෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මොහු සතර දෙන සුවිදූරවිදූර වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස ද පොළොව දැ’යි මෙ දෙක පළමු වැනි සුවිදූරවිදූරය වෙයි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු යැ.
5. ස. පු: පව්කම් සමාදන් වැ සිවුරු දෙන්නහුට, පිඬුවා දෙන්නහුට, සෙනසුන් දෙන්නහුට, ගිලන්පස බෙහෙසත්පිරිකර දෙන්නහුට, අභිවාදනාර්‍හයාහට අභිවාදන කරන්නහුට, හුනස්නෙන් නැඟෙනු නිසියාහට හුනස්නෙන් නැඟෙනුවහට, අඤ්‍ජලිකර්‍මාර්‍හයාහට අඤ්‍ජලිකර්‍ම කරනුවහට, සාමීචිකර්‍මාර්‍හයාහට සාමීචිකර්‍ම කරනුවහට, හිඳුනා අසුන් දෙනු නිසියාහට හිඳුනා අසුන් දෙනුවහට, මඟ දෙනු නිසියාහට මඟ දෙනුවහට පුණ්‍ය ද අපුණ්‍ය ද යන උභය ධර්‍මයෝ වැඩෙත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පුණ්‍ය ද අපුණ්‍ය ද යන උභයධර්‍මයෝ වැඩෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ප. පු: ස්පර්ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුශලාකුශල සාවද්‍යානවද්‍ය හීනප්‍රණීත කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ල සප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මෙ දෙක පළමු වන සුවිදූරවිදූරස්ථාන යි ... එබැවින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේය” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ආ: එකරුණින් “කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති” යි නො කියැයුතු යැ.
8. ප. පු: ‘අවිඥප්තිය දෞශශීල්‍ය’ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: පාපකර්‍මය සමාදන්වූයේ නො වේ ද?
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
අනු. ඨ: ඉදින් පාපකර්‍මය සමාදින්න වී නම්,
අනු. පා: භවත, එකරුණින් ‘අවිඥප්තිය දෞශශීල්‍ය වේය’ යි කියැයුතු මැ යැ.
අවිඤ්‍ඤත්ති දුස්සීල්‍යන්ති කථා නිමි.
දසවන වග නිමි
එහි උද්දානය:
නිරෝධකථා යැ රූපංමග්ගෝති කථා යැ පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගිස්‍ස මග්ගභාවනාකථා යැ පඤ්චවිඤ්‍ඤාණා කුසලාපි අකුසලාපීති කථා යැ සාභෝගකථා යැ ද්වීහි සීලෙහීති කථා යැ සීලං අචේතසිකන්තිකථා යැ සීලං න චිත්තානුපරිවත්තිති කථා යැ සමාදානහේතු කථා යැ විඤ්‍ඤත්තිසීලන්ති කථා යැ අවිඤ්‍ඤත්ති දුස්සීල්‍යන්ති කථා යැ යි ඒ කථාවස්තූහු වෙති.
දෙවන පණ්‍ණාසක යි.
අභිධර්‍මපිටකයෙහි
කථාවස්තුප්‍රකරණය
තෘතීය භාගය
ඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
ඒකාදශ වර්‍ගය
11. 1.
තිස්සෝපි අනුසයකථා
[යම් හෙයෙකින් පෘථග්ජන තෙම කුශලාව්‍යාකෘත සිත් පවතිත් මැ ‘සානුශයහ’ යි කියැයුතු වේ ද, එකෙණෙහි ඔහුගේ යම් හේතුයෙක් ඇද් ද, ඒ හේතුයෙන් අනුශය ධර්‍මයෝ සහේතුක නො වෙත්. ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත ද නො වෙත්. එහෙයින් ඒ ධර්‍මයෝ ‘අව්‍යාකෘතයහ, අහේතුකයහ, චිත්තවිප්‍රයුක්තයහ’ යි ලබ්ධි ගත් මහාසඞ්ඝිකසමමිතීය නිකාය වාසීන්ගේ වාද බිඳුනට ‘තිස්සෝපි අනුසයකථා’ එයි.]
1. ස. පුච්ඡා: අනුශයයෝ අව්‍යාකෘත වෙත් ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනුයෝග: විපාකාව්‍යාකෘත වෙත් ද? ක්‍රියාව්‍යාකෘත වෙත් ද? රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්ප්‍රෂ්ටව්‍යායතන අව්‍යාකෘත වේ ද?
ප. පටික්ඛේප: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: කාමරාගානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්‍ඡන්‍ද නීවරණය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්‍ඡන්‍ද නීවරණය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කාමරාගානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: ප්‍රතිඝානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතිඝය ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය ප්‍රතිඝසංයෝජනය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: ප්‍රතිඝය ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය ප්‍රතිඝසංයෝජනය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ප්‍රතිඝානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: මානානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මානය, මානපර්‍ය්‍යුත්‍ථානය, මානසංයෝජනය අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: මානය, මානපර්‍ය්‍යුත්‍ථානය, මානසංයෝජනය අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: මානානුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: දිට්ඨානුසය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටි, දෘෂ්ටිඔඝ, දෘෂ්ටියෝග, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන, දෘෂ්ටිසංයෝජන අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: දෘෂ්ටි, දෘෂ්ටිඔඝ, දෘෂ්ටියෝග, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානය, දෘෂ්ටිසංයෝජන අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: දෘෂ්ටිඅනුශය අකුශල වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: විචිකිත්සානුශය අව්‍යාකෘත වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: විචිකිත්සා, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන, විචිකිත්සාසංයෝජන, විචිකිත්සානීවරණ අව්‍යාකෘත වේ ද?
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: විචිකිත්සා, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන, විචිකිත්සාසංයෝජන, විචිකිත්සා නීවරණ අකුශල වේ ද?
ප. පටිඤ්‍ඤා: එසේ යැ.