අනාස්‍රව ධර්‍මයෝ ආස්‍රවයෝත් ආස්‍රව සහිතයෝත් වෙති යි ද, සාස්‍රව වූවොත් නො ද ආස්‍රව වූවෝත් වෙති යි ද නො කියැයුත්තාහු වෙත්.
1472. ආස්‍රව වු ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
යම් චිත්තෝත්පාදයෙක්හි දෙතුන් ආස්‍රව කෙනෙක් එක්වට උපදිත් ද, මොහු ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.
1473. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ කවරහ යත්:
ආස්‍රවයන් තබා අවශේෂ අකුශලයෝ යැ. මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ යි.
ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ ආස්‍රව ද වූ ආස්‍රවසම්ප්‍රයුක්තයෝ යයි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රව වූවෝ යයි ද නො කියයුත්තාහ:
1474. ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස්සහගිය දෙ සිත්හි උපන් මෝහ යැ, විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, තුන්බිම්හි කුශල යැ, තුන්බිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව ධර්‍මයෝ යි.
1475. ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවධර්‍මයෝ යි.
ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව (ආස්‍රව සහිත) යෝ යයි ද, ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යයි ද නො කියැයුත්තාහ.
ආස්‍රවගොච්ඡක යි.
1476. සංයෝජනධර්‍මයෝ කවරහ යත්:
සංයෝජන දසයෙකි: කාමරාගසංයෝජන යැ, ප්‍රතිඝසංයෝජන යැ, මානසංයෝජන යැ, දෘෂ්ටිසංයෝජන යැ, විචිකිත්සාසංයෝජන යැ, ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන යැ, භවරාගසංයෝජන යැ, ඊර්‍ෂ්‍යාසංයෝජන යැ, මාත්සර්‍ය්‍යසංයෝජන යැ, අවිද්‍යාසංයෝජන යි.
කාමරාගසංයෝජනය අෂ්ට ලෝභසසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ප්‍රතිඝසංයෝජනය දොම්නස් සහගිය දෙ සිත්හි උපදී. මානසංයෝජනය දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභ සහගත සතර සිත්හි උපදී. දෘෂ්ටිසංයෝජනය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ සතර සිත්හි උපදී. විචිකිත්සාසංයෝජනය විචිකිත්සාසහගත චිත්තෝත්පාදයන්හි උපදී. ශීලව්‍රතපරාමර්‍ශසංයෝජනය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදී. භවරාගසංයෝජනය දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සිත්හි උපදී. ඊර්‍ෂ්‍යාසංයෝජනයත් මාත්සර්‍ය්‍යසංයෝජනයත් දොම්නස්සහගිය දෙසිත්හි උපදිති. අවිද්‍යාසංයෝජනය සියලු අකුශල සිත්හි උපදී. මොහු සංයෝජන ධර්‍මයෝ යි.
1477. සංයෝජන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජන නො වූ ධර්‍මයෝ යි.
1478. සංයෝජනය (සංයෝජනයන්ට හිත වූ) ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනයන්ට හිත වූ ධර්‍මයෝ යි.
1479. අසංයෝජනිය ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ ද, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනීය නොවූ ධර්‍මයෝ යි.
1480.සංයෝජනසම්ප්‍රයුක්ත වු ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත මෝහය තබා අවශේෂ අකුශලය යි. මොහු සංයෝජනසම්ප්‍රයුක්ත වු ධර්‍මයෝ යි.
1481. සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත මෝහ යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූප ය ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යි.
1482. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්‍මයෝ කවරහ යත්:
ඒ සංයෝජනයෝ මැ සංයෝජනයෝ ද සංයෝජනයන්ට හිත වූවාහු ද වෙත්.
1483. සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ කවරහ යත්:
සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, තුන්බිමැ කුශල යැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනයන්ට හිත වූ ද, නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යි.
අසංයෝජනිය ධර්‍මයෝ සංයෝජනත් සංයෝජනීයත් වෙති’යි ද, සංයෝජනීයත් නො ද සංයෝජනත් වෙති’යි ද නො කියැයුත්තාහ.
1484. සංයෝජන වූ ද සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
යම් සිතෙක දෙතුන් සංයෝජන කෙනෙක් එක්වට උපදිත් ද, මොහු සංයෝජන වූත් සංයෝජනසම්ප්‍රයුක්ත වූ ත් ධර්‍මයෝ යි.
1485. සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද, නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ කවරහ යත්:
සංයෝජනයන් තබා අවශේෂ අකුශල යැ, මොහු සංයෝජනසම්ප්‍රයුක්ත වූත් නො ද සංයෝජන වූත් ධර්‍මයෝ යි.
සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ සංයෝජනයෝත් සංයෝජනසම්ප්‍රයුක්තයෝත් වෙති’යි ද, සංයෝජනසම්ප්‍රයුක්ත වූවෝත් නො ද සංයෝජනයෝත් වෙතී’යි ද නො කියැයුත්තාහ.
1486. සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජනීය ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත මෝහ යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජන ධර්‍මයෝ යි.
1487. සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු සංයෝජනවිප්‍රයුක්ත වූ අසංයෝජනිය ධර්‍මයෝ යි.
සංයෝජනසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ සංයෝජනවිප්‍රයුක්ත වූ සංයෝජනීය වූහ යි ද, සංයෝජන විපුයයුක්ත වූ අසංයෝජනීයහ’යි ද නො කියැයුත්තාහ.
සංයෝජනගොච්ඡක යි.
1488. ග්‍රන්‍ථධර්‍මයෝ කවරහ යත්:
ග්‍රන්‍ථයෝ සතර දෙනෙකි: අභිධ්‍යාකායග්‍රන්‍ථ යැ, ව්‍යාපාදකායග්‍රන්‍ථ යැ, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථ යැ, ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථ යි.
අභිධ්‍යාකායග්‍රන්‍ථය අෂ්ට ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, ව්‍යාපාදකායග්‍රන්‍ථය දොම්නස්සහගත දෙ සිත්හි උපදී, ශීලව්‍රතපරාමර්‍ශකායග්‍රන්‍ථය ද ඉදම්සත්‍යාභිනිවේශකායග්‍රන්‍ථය ද දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සතර සිත්හි උපදිත්. මොහු ග්‍රන්‍ථධර්‍මයෝ යි.
1489. ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ග්‍රන්‍ථයන් තබා සෙසු අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැ යි මොහු ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ යි.
1490. ග්‍රන්‍ථනීය ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ග්‍රන්‍ථනී ය ධර්‍මයෝ යි.
1491. ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ යි.
1492. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, මෙහි උපන් ලෝභය තබා යි. දෞර්‍මනස්‍යසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් ප්‍රතිඝය හැර යි. මොහු ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි
1493. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත වූ සතර සිත්හි උපන් ප්‍රතිඝ යැ, විචිකිච්ඡාසහගත චිත්ත යැ, ඖද්ධත්‍යසහගත චිත්ත යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1494. ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ කවරහ යත්:
ඒ ග්‍රන්‍ථයෝ මැ ග්‍රන්‍ථ ද ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ යි.
1495. ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ කවරහ යත්:
ග්‍රන්‍ථයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ යි.
ග්‍රන්‍ථනීය නොවූ ධර්‍මයෝ ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථනීය වූහ’යි ද ග්‍රන්‍ථනීය ද වූ නො ද ග්‍රන්‍ථ වූහ’යි ද නො කියැයුත්තාහ.
1496. ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරයත්:
යම් සිතෙක දෘෂ්ටියත් ලෝභයත් එක්වට උපදිත් ද, මොහු ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.
1497. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ කවරහ යත්:
එහි උපන් ග්‍රන්‍ථයන් තබා, ලෝභසහගත චිත්තෝත්පාදයෝ අටදෙන යැ, දොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙනා යැයි මොහු ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථ වූ ධර්‍මයෝ යි.
ග්‍රන්‍ථවිප්‍රයුක්ත ධර්‍මයෝ ග්‍රන්‍ථ ද වූ ග්‍රන්‍ථසම්ප්‍රයුක්තයෝ යයි ද, ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ද වූ නො ද ග්‍රන්‍ථයෝ යයි ද නො කියැයුත්තාහ.
1498. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සතර සිත්හි උපන් ලෝභ යැ, දොම්නස් සහගත දෙ සිත්හි උපන් ප්‍රතිඝ යැ, විචිකිත්සා සහගත චිත්තෝත්පාද යැ, ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාදයෝ යැ, තුන්බිමැ කුශලයැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැ යි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය ධර්‍මයෝ යි.
1499. ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය නොවූ ධර්‍මයෝ යි.
ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ග්‍රන්‍ථවිප්‍රයුක්ත ග්‍රන්‍ථනීය වූහ යි ද, ග්‍රන්‍ථවිප්‍රයුක්ත අග්‍රන්‍ථනීය වූහ’ යිද නො කියැයුත්තාහ.
ග්‍රන්‍ථගොච්ඡක යි.
1500. ඕඝධර්‍මයෝ කවරහ යත්:
ඕඝගොච්ඡක යි.
1501. යෝගධර්‍මයෝ කවරහ යත්:
යෝගගොච්ඡක යි.
1502. නීවරණධර්‍මයෝ කවරහ යත්:
නීවරණයෝ සදෙනෙකි: කාමච්ඡන්‍දනීවරණ යැ, ව්‍යාපාදනීවරණ යැ, ථීනමිද්ධනීවරණ යැ, උද්ධච්චකුක්කුච්චනීවරණ යැ, විචිකිච්ඡානීවරණ යැ, අවිජ්ජානීවරණ යි.
කාමාච්ඡන්‍දනීවරණය ලෝභසහගත සිත් අටෙහි උපදී. ව්‍යාපාදනීවරණය දොම්නස් සහගත දෙ සිත්හි උපදී. ථීනමිද්ධනීවරණය සසංස්කාරික අකුසල් සිත්හි උපදී. උද්ධච්චනීවරණය ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාදයන්හි උපදී. කුක්කුච්චනීවරණය දොම්නස් සහගත දෙ සිත්හි උපදී. අවිජ්ජානීවරණය සියලු අකුසල් සිත්හි උපදී. මොහු නීවරණ ධර්‍මයෝ යි.
1503. නීවරණ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
නීවරණයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු නීවරණ නො වූ ධර්‍මයෝ යි.
1504. නීවරණීය (නීවරණයන්ට හිත) වූ ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණීය ධර්‍මයෝ යි.
1505. අනීවරණීය වූ ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනීවරණීය ධර්‍මයෝ යි.
1506. නීවරණසමුප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුසල් සිත්හු යැ. මෙහු නීවරණසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1507. නීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු නීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1508. නීවරණ වූ ද නීවරණීය වූ ද ධර්‍මයෝ කවරහ යත්:
එ මැ නීවරණයෝ නීවරණ ද නීවරණීය ද වෙති.
1509. නීවරණීය ද නො ද නීවරණ වූ ධර්‍මයෝ කවරහ යත්:
නීවරණයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණීය වූ ද නො ද නීවරණ වූ ධර්‍මයෝ යි.
අනීවරණීය ධර්‍මයෝ නීවරණ වූ නො ද නීවරණීයහ’යි ද නීවරණීය ද වූ නො ද නීවරණ වු හ’යි ද නො කියැයුත්තාහ.
1510. නීවරණ ද වූ නීවරණසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:
යම් සිතෙක දෙ තුන් නීවරණ කෙනෙක් එක්වට උපදිත් ද, මොහු නීවරණ වූ ද නීවරණසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.
1511. නීවරණසම්ප්‍රයුක්ත ද නො ද නීවරණ වූ ධර්‍මයෝ කවරහ යත්:
නීවරණයන් තබා අවශේෂ අකුශල යැ. මොහු නීවරණසම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ ධර්‍මයෝ යි.
නීවරණවිප්‍රයුක්ත ධර්‍මයෝ නීවරණ ද වූ නීවරණසම්ප්‍රයුක්ත වූහ’යි ද, නීවරණසම්ප්‍රයුක්ත ද වූ නො ද නීවරණ වූහ’යි නොකියැයුත්තාහ.
1512. නීවරණවිප්‍රයුක්ත වූ නීවරණීය ධර්‍මයෝ කවරහ යත්:
ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු නීවරණ විප්‍රයුක්ත වු නීවරණීය ධර්‍මයෝ යි.
1513. නීවරණවිප්‍රයුක්ත වූ අනීවරණීය ධර්‍මයෝ කවරහ යත්: