Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 3501-3600 න් 3932

1431. අතීතාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
විඤ්ඤාණඤ්චායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ, මේ ධර්‍මයෝ අතීතාලම්බන වන්නාහ.
1432. නියත අනාගතාලම්බනයෝ නැත්තාහ.
1433. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
ද්විපඤ්චවිඥානයෝ යැ, තුන් මනෝධාතුහු දැ යි මේ ධර්‍මයෝ ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති.
කාමාවචර කුශලවිපාකයෙන් චිත්තෝත්පාදයෝ දසදෙනෙකැ, අකුශල විපාකයෙන් උපේක්‍ෂාසහගත මනෝවිඥානධාතු යැ ,සෞමනස්‍යසහගත ක්‍රියාහේතුක මනෝවිඥානධාතු යැයි මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති, අනාගතාලම්බන ද වෙති, ප්‍රත්‍යුත්පන්නාලම්බන ද වෙත්.
කාමාවචර කුශල යැ, අකුශල යැ, ක්‍රියා හෙයින් නවචිත්තෝත්පාදයෝ යැ, කුශල හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුරුත්‍ථධ්‍යානය දැයි මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති. අනාගතාලම්බන ද වෙති. ප්‍රත්‍යුපන්නාලම්බන ද වෙති. අතීතාලම්බන යයි ද අනාගතාලම්බන යයි ද ප්‍රත්‍යුපන්නාලම්බන යයි ද නො කියැයුත්තාහු ද වෙත්.
කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ ද, චතුර්‍ත්‍ථධ්‍යානවිපාක යැ, ආකාසානඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතනයැ, අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයේ යැ, මේ ධර්‍මයෝ අතීතාලම්බන වෙති’යි ද අනාගතාලම්බන වෙති’යි ද ප්‍රත්‍යුත්පන්නාලම්බන වෙති’යි ද නො කියැයුත්තාහ. රූපය හා නිර්‍වාණය හා අනාලම්බන යි.
1434. අධ්‍යාත්මධර්‍මයෝ කවරහ යත්:
අනින්‍ද්‍රියබද්ධ රූපය හා නිර්‍වාණය හා තබා සියලු ධර්‍මයෝ අධ්‍යාත්ම වෙති, බාහිර ද වෙති, අධ්‍යාත්ම බාහිර ද වෙත්. අනින්‍ද්‍රියබද්ධ රූපය හා නිර්‍වාණය හා බාහිර යි.
1435. අධ්‍යාත්මාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
විඤ්ඤාණඤ්චායාතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැයි මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙත්.
1436. බාහ්‍යාලම්බනධර්‍මයෝ කවරහයත්:
කුශල හෙයින් ද විපාක හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, චතුර්‍ත්‍ථධ්‍යාන විපාක යැ, ආකාසානඤ්චායතන යැ, අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ යැයි මේ ධර්‍මයෝ බාහ්‍යාලම්බන වෙත්.
රූපය තබා සියලු මැ කාමාවචර කුශලාකුශලඅව්‍යාකෘත ධර්‍මයෝ යැ. කුශල හෙයින් ද අකුශල හෙයින් ද රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානය දැයි මේ ධර්‍මයෝ අධ්‍යාත්මාලම්බන වෙති, බාහ්‍යාලම්බන වෙති, ආධ්‍යාත්මබාහ්‍යාලම්බන ද වෙත්.
ආකිඤ්චඤ්ඤායතනය ආධ්‍යාත්මාලම්බන යයි ද බාහ්‍යාලම්බන යයි ද ආධ්‍යාත්මබාහ්‍යාලම්බන යයි ද නො කියැයුතු යැ.
රූපය හා නිර්‍වාණය හා අනාලම්බන යි.
1437. සනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
රූපායතන යි, මේ ධර්‍මයෝ සනිදර්‍ශනසප්‍රතිඝ වෙත්:
1438. අනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... සප්‍රෂ්ටව්‍යාතන යි, මේ ධර්‍මයෝ අනිදර්‍ශනසප්‍රතිඝ වෙත්.
1439. අනිදර්‍ශනඅප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ අනිදර්‍ශන අප්‍රතිඝ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අනිදර්‍ශන අප්‍රතිඝයෝ යි.
ත්‍රිකධර්‍ම යි.
1440. හේතුධර්‍මයෝ කවරහ යත්:
තුන් කුශලහේතූහු යැ, තුන් අකුශලහේතූහු යැ, තුන් අව්‍යාකෘතහේතූහු යි.
අලෝභ කුශලහේතු හා අද්වේෂ කුශල හේතු හා චාතුර්භූමක කුශලයෙහි උපදිති. අමෝහ කුශලහේතුව කාමාවචර කුශලයෙන් සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක කුශලයෙහි උපදී.
ලෝභය ලෝභසහගත චිත්තෝත්පාද අටෙහි උපදී, ද්වේෂය දොම්නස් සහගිය චිත්තෝත්පාද දෙකෙහි උපදී, මෝහය සියලු අකුශලයන්හි උපදී.
අලෝභවිපාකහේතුව හා අදෝසවිපාකහේතුව හා දෙක කාමාවචරවිපාකයෙහි අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාකයෙහි උපදිත්.
අමෝහවිපාකහේතුව කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාද තබා සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාද තබා චාතුර්භූමක විපකායෙහි උපදී.
අලෝභක්‍රියාහේතු හා අදෝසක්‍රියාහේතු හා මොහු කාමාවචරක්‍රියායෙන් අහේතුකචිත්තෝත්පාද තබා ත්‍රෛභූමකක්‍රියායෙහි උපදිත්.
අමෝහක්‍රියාහේතුව කාමාවචරක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාද තබා සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාද තබා ත්‍රෛභූමකක්‍රියායෙහි උපදී. මේ ධර්‍මයෝ හේතූහු වෙත්.
1441.හේතු නොවන ධර්‍මයෝ කවරහ යත්:
හේතුධර්‍ම තබා චාතුර්භූමක කුශල යැ, අකුශ යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ හේතු නොවන ධර්‍මයෝ යි.
1442. සහේතුක ධර්‍මයෝ කවරහ යත්:
විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාද තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාද තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, මේ ධර්‍මයෝ සහේතුකයෝ යි.
1443. අහේතුක ධර්‍මයෝ කවරහ යත්:
විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, දෙපස් විඥානයෝ යැ, තුන් මනෝධාතූහු ද පස් අහේතුක මනෝවිඥානධාතූහු ද රූපය නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අහේතුකයෝ යි.
1444. හේතුසම්ප්‍රයුක්තධර්‍මයෝ කවර යත්:
විචිකිච්ඡාසහගත උද්ධච්චසහගත මෝහය තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාකයැ, කාමාවචර ක්‍රියා හෙයින් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මේ ධර්‍මයෝ ක්‍රියාව්‍යාකෘතයෝ යි.
1445. හේතුවිප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, දෙපස් විඥානයෝ යැ, තුන් මනෝධාතුහු ද, අහේතුක මනෝවිඥානධාතු පස ද, රූපය ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ හේතුවිප්‍රයුක්තයෝ යි.
1446. හේතු වූ ද සම්ප්‍රයුක්තහේතු සහිත ද වූ ධර්‍මයෝ කවරහ යත්:
යම් තැනෙක දෙතුන් හේතු කෙනෙක් එක්වට උපදනාහු වෙත් ද, මේ ධර්‍මයෝ හේතු ද සම්ප්‍රයුක්ත හේතුයෙන් සහේතුක ද වෙත්.
1447. සහේතුක ද වූ නො ද හේතු වූ ධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයෙන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, මෙහි උපන් හේතුන් තබා, මේ දහම්හු සහේතුක ද නො ද හේතු වූවාහු ද වෙත්.
අහේතුක ධර්‍මයෝ හේතු ද සහේතුක ද වෙති’යි ද, සහේතුක ද නො ද හේතු වෙති’යි ද නොකියයුත්තාහ.
1448. හේතු වූ ද හේතුසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
යම් තැනෙක දෙතුන් හේතු කෙනෙක් (අන්‍ය හේතූන් සමග) එක්වට උපදිත් ද, මොහු හේතු වූද හේතුසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.
1449. හේතුසම්ප්‍රයුක්ත වූ ද නො ද හේතු වු ධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචරවිපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචර ක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මෙහි උපන් හේතූන් තබා, මොහු හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූ ධර්‍මයෝ යි.
හේතුවිප්‍රයුක්ත ධර්‍මයෝ හේතු ද වූ හේතුසම්ප්‍රයුක්ත වූවෝ යයි ද, හේතුසම්ප්‍රයුක්ත ද වූ නො ද හේතු වූහ’යි ද නො කියැයුත්තාහ.
1450. හේතු නො වූ සහේතුක ධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, කාමාවචර විපාකයෙන් අහේතුක චිත්තෝත්පාදයන් තබා චාතුර්භූමක විපාක යැ, කාමාවචරක්‍රියායෙන් අහේතුක චිත්තෝත්පදායන් තබා ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ යන මෙහි උපන් හේතූන් තබා, මොහු හේතු නො වූ සහේතුක ධර්‍මයෝ යි.
1451. හේතු වූ නො වූ අහේතුක ධර්‍මයෝ කවරහ යත්:
දෙපස් විඥානයෝ යැ, මනෝධාතු ත්‍රිකය ද, අහේතුක මනෝවිඥානධාතු පඤ්චකය ද රූපය ද, නිර්‍වාණය ද, යන මේ ධර්‍මයෝ හේතු නො වූ අහේතුකයෝ යි.
හේතු ධර්‍මයෝ හේතු නො වූ සහේතුකයෝ යයි ද, හේතු නො වූ අහේතුකයෝ යයි ද නොකියයුත්තාහ.
හේතුගොච්ඡක යි.
1452. සප්‍රත්‍යයධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සප්‍රත්‍යයයෝ යි.
1453. අප්‍රත්‍යයධර්‍මයෝ කවරහයත්:
නිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අප්‍රත්‍යයෝ යි.
1454. සඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද, යන මේ ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.
1455. අසඞ්ඛතධර්‍මයෝ කවරහ යත්:
නිර්‍වාණය යි. මේ ධර්‍මයෝ අසඞ්ඛතයෝ යි.
1456. සනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:
රූපායතන යි. මොහු සනිදර්‍ශනධර්‍මයෝ යි.
1457. අනිදර්‍ශනධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යාතනය යැ, චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මොහු අනිදර්‍ශන ධර්‍මයෝ යි.
1458. සප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
චක්‍ෂුරායතන යැ ... ස්ප්‍රෂ්ටව්‍යාතනය යැ යන මොහු සප්‍රතිඝධර්‍මයෝ යි.
1459. අප්‍රතිඝධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් ඇද්ද, නිර්‍වාණය දැයි මේ ධර්‍මයෝ අප්‍රතිඝයෝ යි.
1460. රූපීධර්‍මයෝ කවරහ යත්:
සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය දැයි මොහු රූපී ධර්‍මයෝ යි.
1461. අරූපීධර්‍මයෝ කවරහ යත්:
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, නිර්‍වාණය දැයි මොහු අරූපී ධර්‍මයෝ යි.
1462. ලෞකික ධර්‍මයෝ කවරය යත්:
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය ද යන මොහු ලෞකික ධර්‍මයෝ යි.
1463. ලෝකෝත්තර ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු ලෝකෝත්තර ධර්‍මයෝ යි.
හැම ධර්‍මයෝ කිසි විඥානයෙකින් දතයුත්තාහු යැ, කිසි විඥානයෙකින් නොදතයුත්තාහු වෙත්.
චුල්ලන්තර දුකයි.
1464. ආස්‍රවධර්‍මයෝ කවරය යත්:
ආස්‍රවයෝ සතරදෙනෙක් වෙති: කාමාස්‍රව යැ, භවාස්‍රව යැ, දෘෂ්ට්‍යාස්‍රව යැ, අවිද්‍යාස්‍රව යි. කාමාස්‍රවය අෂ්ටලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, භවාස්‍රවය සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, දෘෂ්ට්‍යාස්‍රවය සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයන්හි උපදී, අවිද්‍යාස්‍රවය සර්‍වාකුශලයෙහි උපදී. මේ ධර්‍මයෝ ආස්‍රවයෝ යි.
1465. ආස්‍රව නො වූ ධර්‍මයෝ කවරහ යත්:
ආස්‍රවයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද නිර්‍වාණය දැයි මොහු ආස්‍රව නො වූ ධර්‍මයෝ යි.
1466. සාස්‍රව (ආස්‍රව සහිත) ධර්‍මයෝ කවරහ යත්:
තුන්බිමැ කුශල යැ, අකුශ යැ, තුන් බිමැ විපාක යැ, තුන් බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූප දැයි මොහු සාස්‍රව ධර්‍මයෝ යි.
1467. අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලය ද, නිර්‍වාණය දැයි මොහු අනාස්‍රව ධර්‍මයෝ යි.
1468. ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් මෝහය තබා, විචිකිච්ඡාසහගත වූ උද්ධච්චසහගත වූ මෝහයන් තබා, අවශේෂ අකුශලය දැයි මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1469. ආස්‍රවවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
දොම්නස් සහගිය චිත්තෝත්පාද දෙක්හි උපන් මෝහ යැ, විචිකිච්ඡා සහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්තධර්‍මයෝ යි.
1470. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්‍මයෝ කවරහ යත්:
ඒ ආස්‍රවයෝ මැ ආස්‍රව වූවාහු ද ආස්‍රව සහිත වූවාහු ද වෙත්:
1471. සාස්‍රව වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ කවරහ යත්:
ආස්‍රවයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මේ ධර්‍මයෝ ආස්‍රව සහිත වූවාහු ද නො ද ආස්‍රව වූවාහු ද වෙති.