Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 3401-3500 න් 3932

1388. අදුඃඛාසුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර - කුශලයන් කෙරෙන් සතර උපේක්‍ෂා සහගත චිත්තෝත්පාදයෝ යැ. අකුශලයන් කෙරෙන් (චිත්තෝත්පාද) සයෙක. කාමාවචර කුශලවිපාකයන් කෙරෙන් දශයෙක. අකුශලවිපාකයන් කෙරෙන් සයෙක. ක්‍රියා සිත් අතුරෙන් සයෙක. කුශල විපාක - ක්‍රියා විසින් රූපාවචර චතුථිධ්‍යනය ද කුශල විපාක - ක්‍රියා විසින් සතර අරූපාවචරයෝ ද කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර චතුථිධ්‍යනය ද යන මෙහි උපන් අදුක්ඛමසුඛවේදනාව තබා මේ ධර්‍මයෝ අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයෝ යි.
ත්‍රිවිධ වේදනාවෝ ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ ‘සුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’ යි ද ‘දුක්ඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’යි ද ‘අදුක්මසුඛවේදනාව හා සම්ප්‍රයුක්තයහ’යි ද නො කියැයුත්තාහ.
1389. විපාකධර්‍මයෝ කවරහ යත්:
සතර භූමියෙහි විපාක යැ. මේ විපාකයෝ යි.
1390. විපාකස්වභාවධර්‍මයෝ කවරහ යත්:
සතර භූමියෙහි කුශල යැ, අකුශල යැ යන මේ ධර්‍මයෝ විපාකස්වභාව ධර්‍මයෝ යි.
1391. නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූ ධර්‍මයෝ කවරහ යත්:
තුන්භූමියෙහි ක්‍රියාව්‍යාකෘතය ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ නො මැ විපාක වූ විපාකස්වභාවධර්‍ම නො වූ ධර්‍මයෝ යි.
1392.උපාදින්නඋපාදානීය ධර්‍මයෝ කවරහ යත්:
තුන් භූමියෙහි විපාක ද කර්‍මය කළ හෙයින් යම් රූපයෙකුත් වේ ද, මොහු උපාදින්නඋපාදානීය ධර්‍මයෝ යි.
1393. අනුපාදින්නඋපාදානීය ධර්‍මයෝ කවරහ යත්:
තුන් භූමියෙහි කුශල යැ අකුශල යැ තුන් භූමියෙහි ක්‍රියාව්‍යාකෘත යැ කර්‍මය කළ හෙයින් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, මොහු අනූපාදින්නඋපාදානීය ධර්‍මයෝ යි.
1394. අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍ය ඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අනුපාදින්නඅනුපාදානිය ධර්‍මයෝ යි.
1395. සංකිලිට්ඨසංකිලේසික වූ ධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුශලචිත්තෝත්පාදයෝ යැ. මොහු සංකිලිට්ඨසංකිලේසික වූ ධර්‍මයෝ යි.
1396. අසංකිලිට්ඨසංකිලෙසික වූ ධර්‍මයෝ කවරහ යත්:
තුන් භූමියෙහි කුශල යැ තුන් භූමියෙහි විපාක යැ තුන්භූමියෙහි ක්‍රියාව්‍යාකෘත යැ හැම රූප ද යන මොහු අසංකිලිට්ඨසංකිලෙසික වූ ධර්‍මයෝ යි.
1397. අසංකිලිට්ඨඅසංකිලේසික වූ ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අසංකිලිට්ඨඅසංකිලේසික වූ ධර්‍මයෝ යි.
1398. සවිතර්‍කසවිචාර ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශල යැ අකුශල යැ කාමාවචර කුශලයාගේ විපාකයෙන් එකොළොස් චිත්තෝත්පාදයෝ යැ, අකුශලවිපාකයෙන් දෙකෙක, ක්‍රියායෙන් එකොළොසෙක, කුශල විසින් ද විපාක විසින් ද ක්‍රියා විසින් ද රූපාවචර ප්‍රථමධ්‍යාන යැ, කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර ප්‍රථමධ්‍යානය යැ, යන මෙතෙක් තැන්හි උපන් විතර්‍කවිචාරයන් තබා මේ ධර්‍මයෝ සවිතර්‍කසවිචාරයෝ යි.
1399. අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයෝ කවරහ යත්:
කුශල විසින් ද විපාක විසින් ද ක්‍රියා විසින් ද රූපාවචර පඤ්චකනයෙහි ද්විතීයධ්‍යානය ද කුශල විසින් ද විපාක විසින් ද ලෝකෝත්තර පඤ්චක නයෙහි ද්විතීයධ්‍යානය ද මෙහි උපන් විචාරය තබා, විතර්‍කය ද යන මොහු අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයෝ යි.
1400. අවිතර්‍කඅවිචාර ධර්‍මයෝ කවරහි යත්:
දෙ පස් විඥානයෝ ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ත්‍රිකධ්‍යානයෝ ද, කුශල විපාක ක්‍රියා විසින් සතර ආරුප්‍යයෝද , කුශල විපාක විසින් ලෝකෝත්තර ත්‍රිකධ්‍යානයෝ ද,පඤ්චක නයෙහි ද්විතීයධ්‍යානයේ උපන් විචාරය ද, රූපය ද, නිර්‍වාණය ද යන මොහු අවිතර්‍කඅවිචාර ධර්‍මයෝ යි.
විතර්‍කසහජාතක වූ විචාරය සවිතර්‍කසවිචාර යි ද, අවිතර්‍කවිචාරමාත්‍ර යයි ද, අවිතර්‍කඅවිචාර යයි ද නො කියැයුත්තේ යි.
1401. ප්‍රීතිසහගත ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශලයන් කෙරෙහි සතර සොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සොම්නස් සහගිය) සතර චිත්තෝත්පාදයෝ ද,කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙහි (සිත්) පසෙක් ද, ක්‍රියාචිත්තයන් කෙරෙහි පසෙක් ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ද්විකත්‍රිකධ්‍යානයෝ ද, කුශල විපාක විසින් ලෝකෝත්තර ද්වික - ත්‍රිකධ්‍යානයෝ ද යන මෙහි උපන් ප්‍රීතිය තබා, මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යි.
1402. සුඛසහගත ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශලයන් කෙරෙහි සතර සොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සිත්) සතරෙක් ද, කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙන් සයෙක් ද, ක්‍රියා (සිත්) අතුරෙහි පසෙක් ද, කුශල විපාක ක්‍රියා විසින් රූපාවචර ත්‍රික - චතුෂ්කධ්‍යානයෝද, කුශල විපාක විසින් ලෝකෝත්තර ත්‍රික - චතුෂ්කධ්‍යානයෝද යන මෙහි උපන් සුවය තබා, මේ ධර්‍මයෝ සුඛසහගතයෝ යි.
1403. උපේක්‍ෂාසහගත ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශලයන් කෙරෙහි සතර උපේක්‍ෂාසහගත චිත්තෝත්පාදයෝ ද, අකුශලයන් කෙරෙහි (සිත්) සයෙක් ද, කාමාවචර කුශලයාගේ විපාකයන් කෙරෙහි දසයෙක, අකුශලවිපාකයෙහි සයෙක, ක්‍රියායෙහි සයෙක, කුශලවිපාක ක්‍රියා විසින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, කුශලවිපාක ක්‍රියා විසින් සතර ආරූප්‍යයෝ යැ, කුශලවිපාක විසින් ලෝකෝත්තර චතුර්‍ත්‍ථධ්‍යාන යැ යන මෙහි උපන් උපේක්‍ෂාව තබා, මේ ධර්‍මයෝ උපේක්‍ෂා සහගතතයෝ යි.
ප්‍රීතිය ප්‍රීතිසහගත නො වෙයි, සුඛසහගත යැ, උපේක්‍ෂාසහගත නො වේ. සුඛය සුඛසහගත නො වෙයි, ප්‍රීතිසහගත වන්නේ යැ, උපේක්‍ෂාසහගත නො වේ, ප්‍රීතිසහගත යයි නො කියැයුතු ද වන්නේ යැ. දොම්නස්සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ දුඃඛසහගත කායවිඥාන යැ උපේක්‍ෂාවේදනාව ද රූපය ද නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යයි ද සුඛසහගතයෝ යයි ද උපේක්‍ෂාසහගතයෝ යයි ද නො කියැයුත්තාහ.
1404. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ විචිකිත්සාසහගත චිත්තෝත්පාදය යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යයෝ යි.
1405. භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යි. මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යයෝ යැ.
දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ දෝමනස්සසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍ය ද වන්නාහ.
1406. නො මැ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ භාවනායෙන් ප්‍රහාතව්‍ය ද නො වූ ධර්‍මයෝ කවරහ යත්:
සතරභූමියෙහි කුශල යැ සතරභූමියෙහි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපයද නිර්‍වාණය ද යන මොහු නො මැ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ යි.
1407. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ මෙහි උපන් මෝහය තබා මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇත්තාහු යි.
1408. භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
ඖද්ධත්‍යසහගත චිත්තෝපාද යැ මෙහි උපන් මෝහය තබා මේ ධර්‍මයෝ භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ය.
දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ දෝමනස්සසහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත්තාහු ද වන්නාහ.
1409. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ කවරහ යත්:
විචිකිච්ඡා සහගත මෝහ යැ ඖද්ධත්‍ය සහගත මෝහ යැ සියුබිම්හි කුශල යැ සියුබිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපය ද නිර්‍වාණය ද යන මොහු නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.
1410. ආචයගාමී ධර්‍මයෝ කවරහ යත්:
තුන්බිම්හි කුශල යැ අකුශල යැ යන මොහු ආචයගාමී (ප්‍රතිසන්‍ධි, ච්‍යුති, ගති, ප්‍රවෘත්තීන්ට පමුණුවන) ධර්‍මයෝ යි.
1411. අපචයගාමී ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ. මොහු අපචයගාමී (නිවනට පමුණුවන) ධර්‍මයෝ යි.
1412. නො මැ ආචයගාමී නො ද අපචයගාමී ධර්‍මයෝ කවරහ යත්:
සතර බිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, මොහු නො මැ ආචයගාමී නො අපචයගාමී ධර්‍මයෝ යි.
1413. ශෛක්‍ෂධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද හෙට්ඨිම් වූ තුන් ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මොහු ශෛක්‍ෂධර්‍මයෝ යි.
1414. අශෛක්‍ෂධර්‍මයෝ කවරහ යත්:
මතුයෙහි සිටි අර්‍හත්ඵලය යි. මේධර්‍මයෝ අශෛක්‍ෂයෝ යි.
1415. නො මැ ශෛක්‍ෂ වූ ද නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ කවරහ යත්:
තුන්බිම්හි කුශල යැ අකුශල යැ තුන්බිම්හි විපාක යැ තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ රූපය ද නිර්‍වාණය ද යන මොහු නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ යි.
1416. පරිත්ත (කාමාවචර) ධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශල යැ අකුශල යැ කාමාවචරයාගේ හැම විපාක යැ කාමාවචර ක්‍රියාව්‍යාකෘත යැ හැම රූප ද යන මොහු පරිත්තධර්‍මයෝ යි.
1417. මහද්ගතධර්‍මයෝ කවරහ යත්:
රූපාවචර අරූපාවචර කුශලාව්‍යාකෘතයෝ ය. මොහු මහද්ගත ධර්‍මයෝ යි.
1418. අප්‍රමාණධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු අප්‍රමාණධර්‍මයෝ යි.
1419. පරිත්තාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
සියලු කාමාවචර විපාක යැ ක්‍රියා මනෝධාතු යැ සොම්නස් සහගිය ක්‍රියාඅහේතුක මනෝවිඥානධාතු යැ යන මොහු පරිත්තාලම්බනධර්‍මයෝ යි.
1420. මහද්ගතාලම්බනධර්‍මයෝ කවරහ යත්:
විඤ්ඤාණඤ්චායතන යැ නේසවඤ්ඤානාසඤ්ඤයතන යැ යන මොහු මහද්ගතාලම්බනාධර්‍මයේ යි.
1421. අප්‍රමාණාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මොහු අප්‍රමාණාලම්බන ධර්‍මයෝ යැ.
කාමාවචර කුශලයෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ. ක්‍රියායෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ සියලු අකුශල යැ යන මේ ධර්‍මයෝ පරිත්තාලම්බන ද වන්නාහ, මහද්ගතාලම්බන ද වන්නාහ, අප්‍රමාණාලම්බන නො වෙති. ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද නො කියයුතු ද වන්නාහ.
කාමාවචර කුශලයෙහි සතර ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ ද ක්‍රියායෙහි සතර ඥානසම්ප්‍රයුක්තචිත්තෝත්පාදයෝ ද කුශලක්‍රියා හෙයින් රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යානය ද උපේක්‍ෂාසහගත ක්‍රියාඅහේතුක මනෝවිඥානධාතු ද යන මේ ධර්‍මයෝ පරිත්තාලම්බන වන්නාහ. මහද්ගතාලම්බන ද වන්නාහ. අප්‍රමාණාලම්බන ද වන්නාහ. ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද ‘අප්‍රමාණාලම්බනහ’යි ද නො කියැ යුතු ද වන්නාහ.
කුශලවිපාකක්‍රියා විසින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ ද චතුර්‍ත්‍ථධ්‍යානයාගේ විපාකය ද ආකාසානඤ්චායතනය ද ආකිඤ්චඤ්ඤායතනය ද යන මේ ධර්‍මයෝ ‘පරිත්තාලම්බනහ’යි ද ‘මහද්ගතාලම්බනහ’යි ද ‘අප්‍රමාණාලම්බන’යි ද නො කියැයුත්තාහ.
රූපය ද නිර්‍වාණය ද අනාලම්බනයෝ ය.
1422. හීන ධර්‍මයෝ කවරහ යත්:
දොළොස් අකුශල චිත්තෝත්පාදයෝ යැ. මොහු හීන ධර්‍මයෝ යි.
1423. මධ්‍යම ධර්‍මයෝ කවරහ යත්:
තුන්බිමැ කුශල යැ තුන්බිමැ විපාක යැ තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ හැම රූපය ද යන මොහු මධ්‍යම ධර්‍මයෝ යි.
1424. ප්‍රණීත ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද නිර්‍වාණය ද යන මොහු ප්‍රණීත ධර්‍මයෝ යි.
1425. මිථ්‍යාත්‍වනියත ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ දොම්නස්සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ යන මේ ධර්‍මයෝ මිත්‍ථ්‍යාත්‍වනියත වන්නාහ, අනියත ද වන්නාහු ය.
1426. සම්‍යක්ත්‍වනියත ධර්‍මයෝ කවරහ යත්:
අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ. මොහු සම්‍යක්ත්‍වනියත ධර්‍මයෝ යි.
1427. අනියත ධර්‍මයෝ කවරහ යත්:
දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, විචිකිත්සාසහගත චිත්තෝත්පාද යැ, ඖද්ධත්‍යසහගත චිත්තෝත්පාද යැ, ත්‍රෛභූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය ද යන මේ ධර්‍මයෝ අනියතයෝ යි.
1428. මාර්‍ගාලම්බනධර්‍මයෝ කවරහ යත්:
කාමාවචර කුශලයන් කෙරෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතරදෙන යැ, ක්‍රියායෙහි ඥානසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ සතර දෙන යැ, යන මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බන වන්නාහු යැ, මාර්‍ගහේතුක නො වෙති. මාර්‍ගාධිපති වන්නාහු යැ, මාර්‍ගාලම්බනාහ යි ද, මාර්‍ගාධිපතිහ යි ද නො කියැයුතු ද වන්නාහු යැ.
සතර ආර්‍ය්‍යමාර්‍ගයෝ මාර්‍ගාලම්බන මාර්‍ගහේතුක නො වෙති, මාර්‍ගාධිපති ද වන්නාහ, ‘මාර්‍ගාධිපතිහ’යි නො කියැයුතු ද වන්නාහ.
කුශල හෙයින් ද ක්‍රියා හෙයින් ද රූපාවචර චතුර්‍ත්‍ථධ්‍යාන යැ, උපේක්‍ෂාසහගත ක්‍රියාහේතුක මනෝවිඥාන ධාතු යැ, යන මේ ධර්‍මයෝ මාර්‍ගාලම්බන වන්නාහ, මාර්‍ගහේතුක නො වෙති, මාර්‍ගාධිපති නො වෙති, ‘මාර්‍ගාලම්බනහ’යි නො කියැයුතු ද වන්නාහ.
කාමාවචර කුශලයන් කෙරෙහි සතර ඥානවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, සියලු කාමාවචර විපාක යැ, ක්‍රියා විසින් චිත්තෝත්පාදයෝ සදෙනෙකැ, කුශලවිපාකක්‍රියා විසින් රූපාවචර ත්‍රිකචතුෂ්කධ්‍යානයෝ යැ, චතුර්‍ත්‍ථධ්‍යාන විපාක යැ, කුශලවිපාකක්‍රියා විසින් සතර ආරූප්‍යයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද යන මේ දහම්හු මාර්‍ගාලම්බනහ යි ද, මාර්‍ගහේතුකහ යි ද මාර්‍ගාධිපතිහ යි ද නොකියැයුත්තාහ. රූපය ද නිර්‍වාණය ද අනාලම්බනයෝ යි.
1429. උත්පන්නධර්‍මයෝ කවරහ යත්:
චාතුර්භූමක විපාක යැ, කර්‍මසමුත්‍ථාන වූ යම් රූපයෙකුත් ඇද්ද, මේ ධර්‍මයෝ උත්පන්න වෙති, උත්පාදී ද වෙත්, අනුත්පන්නයහ’යි නො කියයුත්තාහ.
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, කර්‍මසමුත්‍ථාන නො වූ යම් රූපයෙකුත් ඇද්ද, මේ ධර්‍මයෝ උත්පන්න ද වෙති. අනුත්පන්න ද වෙති ‘උත්පාදීහ’යි නො කියැයුත්තාහ.
නිර්‍වාණය උත්පන්න යයි ද, අනුත්පන්න යයි ද, උත්පාදී යයි ද නො කියැයුතු ය.
1430. අතීතධර්‍මයෝ කවරහ යත්:
නිවන තබා හැම දහම්හු අතීත වෙති, අනාගත වෙති, ප්‍රත්‍යුපන්න වෙති. නිවන අතීත යයි ද, අනාගත යයි ද, ප්‍රත්‍යුපන්න යයි ද නො කියැයුතු යැ.