යටින් අවීචිනිරය හිම් කොට මතුභාගයෙන් පරනිර්මිතවශවර්තී දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි පර්‍ය්‍යාපන්න වූ යම් ස්කන්‍ධ, ධාතු, ආයතන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥානයෙක් ඇද්ද, මොහු කාමාවචර ධර්‍මයෝ යි.
1287. කාමාවචර නො වූ ධර්‍මයෝ කවර යත්:
රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද මොහු කාමාවචර නො වූ ධර්‍මයෝ යි.
1288. රූපාවචරධර්‍මයෝ කවර යත්:
යට භාගයෙන් බඹලොව පිරියත් කොට මතුභාගයෙන් අකනිටා දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි ඇතුලු වූ සමාපන්නයාගේ හෝ උපපන්නයාගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් ඇද්ද, මොහු රූපාවචර ධර්‍මයෝ යි.
1289. රූපාවචර නො වූ ධර්‍මයෝ කවර යත්:
කාමාවචර අරූපාවචර අපරියාපන්න වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, මොහු රූපාවචර නො වූ ධර්‍මයෝ යි.
1290. අරූපාවචරධර්‍මයෝ කවර යත්:
යටින් ආකාසානඤ්චායතනූපග දෙවියන් පිරියත් කොට උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනනූපග දෙවියන් ඇතුලු කොට මේ අතුරෙහි මෙහි හැසිරෙන මෙහි ඇතුලු වැ සිටි සමාපන්නයාගේ හෝ උපපන්නයාගේ හෝ දිට්ඨධර්‍මසුඛවිහාරීහුගේ හෝ යම් චිත්තචෛතසික ධර්‍ම කෙනෙක් ඇද්ද, මොහු අරූපාවචර ධර්‍මයෝ යි.
1291. අරූපාවචර නො වූ ධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අපරියාපන්න වූ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, අරූපාවචර නො වූ ධර්‍මයෝ යි.
1292. පරියාපන්නධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු පරියාපන්න ධර්‍මයෝ යි.
1293. අපරියාපන්නධර්‍මයෝ කවර යත්:
මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද අපරියාපන්න ධර්‍මයෝ යි.
1294. නෛර්‍ය්‍යාණිකධර්‍මයෝ කවර යත්:
අපරියාපන්න වූ සතර මාර්‍ගයෝ යි. මොහු නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.
1295. අනෛර්‍ය්‍යාණිකධර්‍මයෝ කවර යත්:
ඒ නෛර්‍ය්‍යාණිකධර්‍මයන් තබා සෙසු කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥාකස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අනෛර්‍ය්‍යාණික ධර්‍මයෝ යි.
1296. නියත ධර්‍මයෝ කවර යත්:
ආනන්තර්‍ය්‍ය වූ පඤ්චකර්‍මයෝ ද නියත මිත්‍යාදෘෂ්ඨියෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ ද යන මොහු නියත ධර්‍මයෝ යි.
1297. අනියතධර්‍මයෝ කවර යත්:
ඒ නියතධර්‍මයන් තබා අවශිෂ්ට වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න කුශලාකුශලාව්‍යාකෘතධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අනියතධර්‍මයෝ යි.
1298. සඋත්තරධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ රූපස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යන මොහු සඋත්තර ධර්‍මයෝ යි.
1299. අනුත්තරධර්‍මයෝ කවර යත්:
අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මොහු අනුත්තරධර්‍මයෝ යි.
1300. සරණධර්‍මයෝ කවර යත්:
ලෝභ ද්වේෂ මෝහ යන තුන් අකුශලමූලයෝ ද තදේකස්ථ ක්ලේශයෝ ද තත්සම්ප්‍රයුක්ත වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ තත්සමුත්‍ථාන කායකර්‍ම වාක්කර්‍ම මනඃකර්‍ම යන මොහු සරණධර්‍මයෝ යි.
1301. අරණ ධර්‍මයෝ කවර යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු අරණධර්‍මයෝ යි.
පිට්ඨිදුකය යි.
1302. විද්‍යාභාගීධර්‍මයෝ කවරහ යත්:
අෂ්ටවිද්‍යායෙන් සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ. මොහු විද්‍යාභාගී ධර්‍මයෝ යි.
1303. අවිද්‍යාභාගීධර්‍මයෝ කවරහ යත්:
සත්‍යප්‍රතිච්ඡාදක අවිද්‍යාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ යැ. මොහු අවිද්‍යාභාගී ධර්‍මයෝ යි.
1304. විදුලි උපමා කොට ඇති ධර්‍මයෝ කවරහ යත්:
යට තුන් අරිමගැ වූ ප්‍රඥා යැ. මොහු විදුලි උපමා කොට ඇති ධර්‍මයෝ යි.
1305. වජ්‍රෝපමධර්‍මයෝ කවරහ යත්:
උපරිම වූ රහත්මගැ ප්‍රඥා යැ. මොහු වජ්‍රෝපමධර්‍මයෝ යි.
1306. බාලධර්‍මයෝ කවරහ යත්:
අහ්‍රීක ද අනපත්‍රපා ද යන මොහු බාලධර්‍මයෝ යැ. හැම අකුසල්හු බාලධර්‍මයෝ යි.
1307. පණ්ඩිතධර්‍මයෝ කවරහ යත්:
හ්‍රී ද අපත්‍රපා ද යන මොහු පණ්ඩිතධර්‍මයෝ යැ. හැම කුසල්දහම්හු පණ්ඩිතධර්‍මයෝ යි.
1308. කෘෂ්ණධර්‍මයෝ කවරහ යත්:
අහ්‍රීක ද අනපත්‍රපා ද යන මොහු කෘෂ්ණධර්‍මයෝ යැ. හැම අකුසල්හු කෘෂ්ණධර්‍මයෝ යි.
1309. ශුක්ලධර්‍මයෝ කවරහ යත්:
හ්‍රී ද අපත්‍රපා ද යන මොහු ශුක්ලධර්‍මයෝ යැ. හැම කුසල්හු ශුක්ලධර්‍මයෝ යි.
1310. තපනීයධර්‍මයෝ කවරහ යත්:
කාය දුශ්චරිත යැ වාග් දුශ්චරිත යැ යන මොහු තපනීයධර්‍මයෝ යැ. හැම අකුසල්හු තපනීයධර්‍මයෝ යි.
1311. අතපනීයධර්‍මයෝ කවරහ යත්:
කායසුචරිත යැ වාග්සුචරිත යැ මනස්සුචරිත යැ යන මොහු අතපනීයධර්‍මයෝ යැ. හැම කුසල්හු අතපනීයධර්‍මයෝ යි.
1312. අධිවචනධර්‍මයෝ කවරහ යත්:
ඒ ඒ ධර්‍මයන්ගේ යම් සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු අධිවචනධර්‍මයෝ යි.
හැම ධර්‍මයෝ මැ අධිවචනධර්‍මයෝ යි.
1313. නිරුක්තිධර්‍මයෝ කවරහ යත්:
ඒ ඒ ධර්‍මයන්ගේ සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු නිරුක්තිධර්‍මයෝ යි.
හැම ධර්‍මයෝ මැ නිරුක්තිපථයෝ යි.
1314. ප්‍රඥප්තිධර්‍මයෝ කවරහ යත්:
ඒ ඒ ධර්‍මයන්ගේ සඞ්ඛ්‍යාවක් සංඥාවක් ප්‍රඥප්තියෙක් ව්‍යවහාරයෙක් නාමයෙක් නාමකර්‍මයෙක් නාමධෙයයෙක් නිරුක්තියෙක් ව්‍යඤ්ජනයෙක් අභිලාපයෙක් ඇද්ද, මොහු ප්‍රඥප්තිධර්‍මයෝ යි.
හැම ධර්‍මයෝ මැ ප්‍රඥප්තිපථයෝ යි.
1315. එහි නාම කවරෙ යත්:
වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ අසඞ්ඛතධාතු ද යන මේ ‘නාම’ යි කියනු ලැබේ.
1316. එහි රූප කවරෙ යත්:
සතර මහාභූතයෝ යැ, සතර මහාභූතයන් නිසා පවත්නා රූප යැ යන මේ ‘රූප’ යි කියනු ලැබේ.
1317. එහි විද්‍යා කවර යත්:
යම් නො දැනීමෙන් නො දැක්මෙන් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අනිත්‍යාදිවශයෙන් නො ගැනීමෙක් නො බැසගැනීමෙක් සම වැ නො දැකීමෙක් (ධර්‍මස්වභාව) ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවීත්‍රතායෙක් බාලබවෙක් අසම්ප්‍රජන්‍යයෙක් මෝහයෙක් ප්‍රමොහයෙක් සම්මොහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ අකුශලමූලයෙක් ඇද්ද, මෝ ‘අවිද්‍යා’ යි කියනුලබා.
1318. එහි භවතෘෂ්ණා කවර යත්:
රූපාරූපභවයෙහි යම් භවච්ඡන්‍දයෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහභවපරිදාහයෙක් භවමූර්ඡායෙක් භවයෙහි බැසගෙනසිටීමෙක් ඇද්ද, මෝ ‘භවතෘෂ්ණා’ යි කියනුලබා.
1319. එහි භවදෘෂ්ටි කවර යත්:
‘ආත්මය ද ලෝකය ද මතුයෙහි වෙයි’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘භවදෘෂ්ටි’ යයි කියනුලබා.
1320. එහි විභවදෘෂ්ටි කවර යත්:
‘ආත්මය ද ලෝකය ද මතුයෙහි නො වෙයි’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද මෝ ‘භවදෘෂ්ටි’ යයි කියනුලබා.
1321. එහි ශාශ්වතදෘෂ්ටි කවර යත්:
‘ආත්මය ද ලෝකය ද ශාශ්වත යැ’ යන මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘ශාශ්වතදෘෂ්ටි’ යයි කියනුලබා.
1322. එහි උච්ඡේදදෘෂ්ටි කවර යත්:
‘ආත්මය ද ලෝකය ද සිඳී’ යෙයි යන මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘උච්ඡේදදෘෂ්ටි’ යයි කියනුලබා.
1323. එහි අන්තවත් දෘෂ්ටි කවර යත්:
‘ආත්මය ද ලෝකය ද අන්තවත්’ යයි මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘අන්තවත් දෘෂ්ටි’ යයි කියනු ලබා.
1324. එහි අනන්තවත් දෘෂ්ටි කවර යත්:
‘ආත්මය ද ලෝකය ද අනන්තවත්’ යයි මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මෝ ‘අනන්තවත් දෘෂ්ටි’ යයි කියනුලබා.
1325. එහි පූර්‍වාන්තානුගත දෘෂ්ටි කවර යත්:
පූර්‍වාන්තය අරභයා යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදී ද, මෝ ‘පූර්‍වාන්තානුගත දෘෂ්ටි’ යයි කියනුලබා.
1326. එහි අපරාන්තානුගත දෘෂ්ටි කවර යත්:
අපරාන්තය අරභයා යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් ... විපර්‍ය්‍යාසග්‍රාහයෙක් උපදීද, මෝ ‘අපරාන්තානුගත දෘෂ්ටි’ යයි කියනුලබා.
1327. එහි අහ්‍රීක කවරෙ යත්:
යම් කරුණෙකින් ලජ්ජාවියයුත්තෙන් ලජ්ජා නො වේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ලජ්ජා නො වේ ද, මේ ‘ආහ්‍රීක’ යයි කියනුලැබේ.
1328. එහි අනපත්‍රපා කවර යත්:
යම් කරුණෙකින් තැවියයුත්තෙන් නො තැවේ ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් නො තැවේ ද, මේ ‘අනපත්‍රපා’ යැයි කියනුලැබේ.
1329. එහි හිරි කවර යත්:
යම් කරුණෙකින් ලජ්ජා වියයුත්තෙන් ලජ්ජාවට පැමිණේ ද, ලාමක අකුශලධර්‍මයන්ගේ පැමිණීමෙන් ලජ්ජාවට පැමිණේද, මෝ ‘හිරි’ යයි කියනුලබා.
1330. එහි ඔත්තපය කවරේ යත්:
යම් කරුණෙකින් තැති ගතයුත්තෙන් තැතිගනී ද, ලාමක අකුශල ධර්‍මයන්ගේ පැමිණීමෙන් තැතිගනී ද, මේ ‘ඔත්තපය’ යයි කියනුලැබේ.
1331. එහි ‘දෝවචස්සතා’ කවර යත්:
ප්‍රඥප්තශික්‍ෂාපදය කියනු ලබන කල්හි දුර්වචකමෙක් දුර්‍වචබවෙක් දුර්‍වචතායෙක් විලෝමග්‍රාහී බවෙක් විලොමග්‍රහණයෙහි සුව ඇති බවෙක් අනාදර බවෙක් අනාදරතායෙක් අගෞරවතායෙක් නිශ්‍රයවාස රහිත බවෙක් වේ ද, මෝ ‘දෝවචස්සතා’ යයි කියනුලබා.
1332. එහි පාපමිත්‍රතා කවර යත්:
ශ්‍රද්ධා නැති දුශ්ශීල වූ අල්පශ්‍රැත වූ මාත්සර්‍ය්‍ය ඇති දුෂ්ප්‍රාඥ වූ යම් පුද්ගල කෙනෙක් ඇද්ද, ඔවුන්ගේ යම් සේවනයක් නීසේවනයෙක් සංසේවනයෙක් භජනයෙක් සම්භජනයෙක් භක්තියෙක් සම්භක්තියෙක් උන් කෙරෙහි නැමුණු බවෙක් ඇද්ද, මෝ ‘පාපමිත්තතා’ යයි කියනුලබා.
1333. එහි සෝවචස්සතා කවර යත්:
ප්‍රඥප්තිශික්‍ෂාපදය එළවා කියනුලබන කල්හි සුවචකමෙක් සුවචබවෙක් සුවචතායෙක් අවිරුද්ධග්‍රාහ ඇති බවෙක් අනුකූලග්‍රහණයෙහි සුව ඇති බවෙක් සගෞරවතායෙක් නිශ්‍රයවාස ඇති බවෙක් ඇද්ද, මෝ ‘සෝවචස්සතා’ යයි කියනුලබා.
1334. එහි කල්‍යාණමිත්‍රතා කවර යත්: