Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 2801-2900 න් 3932

යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥානයෙන් නො දත යුත්හාහ. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් කායවිඥානයෙන් දත යුත්තාහු නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.
යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.
මේ ධර්‍මයෝ (චක්‍ෂුරාදි) කිසි විඥානයකින් දත යුත්තාහු, කිසි විඥානයකින් නො දත යුත්තාහු වෙත්.
චූළන්තරදුකය යි.
1101. කවර ධර්‍මයෝ ආස්‍රව වෙති යත්:
ආස්‍රවයෝ සතර දෙනෙකි: කාමාස්‍රව ය, භවාස්‍රව ය, දෘෂ්ටාස්‍රව ය, අවිද්‍යාස්‍රව යි.
1102. එහි කාමාස්‍රව කවරේ යත්:
පඤ්ච කාමගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාමනන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ච්ඡායෙක් කාමයන්හි බැසගෙන සිටීමෙක් වේ ද, මේ කාමාස්‍රව යයි කියනු ලැබේ.
1103. එහි භවාස්‍රව කවරේ යත්:
රූපාරූපභවයන්හි (ප්‍රාර්‍ත්‍ථනා වශයෙන් පැවැති) යම් භවඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහයෙක් භවපරිදාහයෙක් භවමුර්ච්ඡායෙක් භවයන්හි බැසගෙන සිටීමෙක් වේ ද, මේ භවාස්‍රව යයි කියනු ලැබේ.
1104. එහි දෘෂ්ට්‍යාස්‍රව කවරේ යත්:
ස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යයි හෝ, ලෝකය අශාශ්වත යයි හෝ, ලෝකය අන්තවත් යයි හෝ, ලෝකය අනන්තවත් යයි හෝ, ඒම ජීව ය ඒම ශරීර යයි හෝ, ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ, තථාගත (- සත්ත්‍වයා) මරණින් මතුයෙහි වෙයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වෙයි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ යයි හෝ, සත්‍වයා මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වේ යයි හෝ, මෙබඳු යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් (දෘඪ වූ) ග්‍රාහයෙක් පිහිටා ගැනීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ දෘෂ්ට්‍යාස්‍රව යයි කියනු ලැබේ.
1105. එහි අවිද්‍යාස්‍රව කවරේ යත්:
දුඃඛසත්‍යෙයහි නො දැනීම දුඃඛසමුදයෙහි නො දැනීම දුඃඛනිරෝධයෙහි නො දැනීම දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදායෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුප්පන්න ධර්‍මයන්හි නො දැනීම ය යන යම් මෙබඳු වූ නො දැනීමෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් අසඞ්ගාහනයෙක් හාත්පසින් නො බැස ගැනීමෙක් සමව නො දැකීමෙක් (ධර්‍මස්වභාවය) ප්‍රත්‍යවේක්‍ෂණය නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් (චිත්තසන්තානයාගේ) අපවිත්‍ර බවෙක් බාල බවෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් බලවත් මෝහයෙක් හාත්පසින් මුළාවීමෙක් අවිද්‍යායෙක් අවිද්‍යා සඞ්ඛ්‍යාත ඕඝයෙක් අවිද්‍යා යෝගයෙක් අවිද්‍යානුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ අකුශල මූලයෙක් වේ ද, මේ අවිද්‍යාස්‍රව යයි කියනු ලැබේ.
මේ ධර්‍මයෝ ආස්‍රවයෝ යි.
1106. කවර ධර්‍මයෝ ආස්‍රව නො වූවාහු වෙති යත්:
ඒ ආස්‍රවධර්‍මයන් තබා කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ අවශේෂ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ ආස්‍රව නො වූවෝ යි.
1107. කවර ධර්‍මයෝ සාස්‍රව වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ සාස්‍රවයෝ යි.
1108. කවර ධර්‍මයෝ අනාස්‍රවහ යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත නිබ්බානධාතුව ද, යන මේ ධර්‍මයෝ අනාස්‍රවයෝ යි.
1109. කවර ධර්‍මයෝ ආස්‍රව සම්ප්‍රයුක්තහ යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ ආස්‍රවසම්ප්‍රයුක්තයෝ යි.
1110. කවර ධර්‍මයෝ ආස්‍රව විප්‍රයුක්තහ යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද වේදනාස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ ආස්‍රව විප්‍රයුක්තයෝ යි.
1111. කවර ධර්‍මයෝ ආස්‍රව ද සාස්‍රව ද වෙති යත්:
ඒ ආස්‍රවයෝ ආස්‍රව ද ආස්‍රව සහිත ද වෙත්.
1112. කවර ධර්‍මයෝ සාස්‍රව ද නො ද ආස්‍රව ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒආස්‍රවධර්‍මයන්ගෙන් සාස්‍රව වූවාහු ද ඒ ධර්‍මයන් තබා, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සෙසු ආස්‍රව සහිත වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ සාස්‍රව ද නො ද ආස්‍රව ද වෙත්.
1113. කවර ධර්‍මයෝ ආස්‍රව ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වෙති යත්:
කාමාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය කාමාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. භවාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය භවාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. දෘෂ්ට්‍යාස්‍රවය අවිද්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වෙයි. අවිද්‍යාස්‍රවය දෘෂ්ට්‍යාස්‍රවය හා ආස්‍රව වූයේ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූයේ ද වේ. මේ ධර්‍මයෝ ආස්‍රව ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වෙත්.
1114. කවර ධර්‍මයෝ ආස්‍රවසම්ප්‍රයුක්ත ද නො ද ආස්‍රව ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයන් තබා, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ ආස්‍රවසම්ප්‍රයුක්ත වූවාහු ද නො ද ආස්‍රව වූවාහු ද වෙත්.
1115. කවර ධර්‍මයෝ ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව වෙති යත්:
යම් ධර්‍මකෙනෙක් ඒ ආස්‍රවධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුසලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය, ... විඥානස්කන්‍ධ ය යන මේ ධර්‍මයෝ ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රවයෝ යි.
1116. කවර ධර්‍මයෝ ආස්‍රවවිප්‍රයුක්ත අනාස්‍රව වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ද, යන මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්‍මයෝ යි.
ආසවගොච්ඡකය යි.
නික්‍ෂේපකාණ්ඩයෙහි පළමුවන බණවර නිමි.
1117. කවර ධර්‍මයෝ සංයෝජන වෙති යත්:
දශ සංයෝජනයෝ ය: කාමරාග සංයෝජන ය, ප්‍රතිඝ සංයෝජන ය, මාන සංයෝජන ය, දෘෂ්ටි සංයෝජන ය, විචිකිත්සා සංයෝජන ය, ශීලව්‍රතපරාමර්‍ශ සංයෝජන ය, භවරාග සංයෝජන ය, ඊර්‍ෂ්‍යා සංයෝජන ය, මාත්සර්‍ය්‍ය සංයෝජන ය, අවිද්‍යා සංයෝජන යි.
1118. එහි කාමරාග සංයෝජන කවරේ යත්:
පස්කම් ගුණයෙහි යම් කාම සඞ්ඛ්‍යාත ඡන්‍දයෙක් කාමරාගයෙක් කාම නන්‍දියෙක් කාමතෘෂ්ණායෙක් කාමස්නේහයෙක් කාමපරිදාහයෙක් කාමමුර්ච්ඡායෙක් කාමාධ්‍යාවසානයෙක් (කාමයන්හි ගැලී සිටීමෙක්) වේ ද, මේ කාමරාග සංයෝජන යයි කියනු ලැබේ.
1119. එහි ප්‍රතිඝ සංයෝජන කවරේ යත්:
‘මට අනර්‍ත්‍ථ කළැ’යි ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කෙරෙයි’ ආඝාත උපදී. ‘මට අනර්‍ත්‍ථ කරන්නේය’යි ආඝාත උපදී. මාගේ පිය මනාප හට අනර්‍ත්‍ථ කෙළේ ය. ... අනර්‍ත්‍ථ කෙරෙයි ... අනර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. ‘මාගේ අප්‍රිය අමනාපය හට අර්‍ත්‍ථ කෙළේ ය ... අර්‍ත්‍ථ කෙරෙයි ... අර්‍ත්‍ථ කරන්නේ ය’යි ආඝාත උපදී. යළි අස්ථානයෙහි හෝ ආඝාත උපදී. යම් මෙබඳු වූ චිත්තයාගේ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් දෝෂයෙක් ප්‍රදෝෂයෙක් සම්ප්‍රදෝෂයෙක් චිත්තයාගේ විපරීත බවෙක් චිත්තයාගේ ද්වේෂයෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීතයෙක් විපරීතාකාරයෙක් විපර්‍ය්‍යස්ත බවෙක් විරෝධයෙක් පුනපුනා විරෝධයෙක් සැඬ බවෙක් නො පිරිණු වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ප්‍රතිඝසංයෝජන යයි කියනු ලැබේ.
1120. එහි මානසංයෝජන කවරේ යත්:
‘මම ශ්‍රේෂ්ඨයෙමි’ මානය, ‘මම සදුශයෙමි’ මානය, ‘මම හීනයෙමි’ මානය, යම් මෙබඳු වූ මානෙයක් මානාකාරෙයක් මඤ්ඤිත බෙවක් උන්නතියෙක් ඔසොවා තැබීමෙක් ධ්වජයෙක් සිත දැඩි ව ගැනීමෙක් චිත්තයාගේ කේතුකාම්‍යතායෙක් වේ ද, මේ මානසංයෝජන යයි කියනු ලැබේ.
1121. එහි දෘෂ්ටිසංයෝජන කවරේ යත්:
ලෝකය ශාශ්වත ය හෝ, ලෝකය අශාශ්වත ය හෝ, ලෝකය අන්තවත් ය හෝ, ලෝකය අනන්තවත් ය හෝ, ඒම ජීව ය ඒ ශරීර යයි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ’යි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතුයෙහි වන්නේත් නො වන්නේත් වේ යයි හෝ, සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො වන්නේ නො වේ යයි හෝ, යම් මෙබඳු වූ දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝමදෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටාසිටීමෙක් පිවිසීමෙක් පරාමර්‍ශයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ දෘෂ්ටිසංයෝජන යයි කියනු ලැබේ. ශීලව්‍රතපරාමර්‍ෂසංයෝජනය තබා සියලු මිත්‍ථ්‍යාදෘෂ්ටි දෘෂ්ටිසංයෝජන යි.
1122. එහි විචිකිත්සාසංයෝජන කවරේ යත‍්:
ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ධර්‍මයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. සඞ්ඝයා කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ත්‍රිවිධ ශික්‍ෂායෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. අපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. පූර්‍වාන්තාපරාන්තයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. ඉදම්ප්‍රත්‍යයතා ප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මයන්හි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. යම් මෙබඳු වූ සැකයෙක් සැකයට පැමිණීමෙක් සැකයට පැමිණි බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනේකාන්තග්‍රාහයෙක් පසුබැසීමෙක් හාත්පසින් පසුබැසීමෙක් නො බැසගැනීමෙක් චිත්තයාගේ තදබවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ විචිකිත්සාසංයෝජනා යයි කියනු ලැබේ.
1123. එහි ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන කවරේ යති:
මේ සස්නෙන් බැහැර මහණබමුණන්ගේ ‘ශීලයෙන් ශුද්ධිය, ව්‍රතයෙන් ශුද්ධිය’යි යම් මෙබඳු වූ දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝම දෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක් මිත්‍ථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් වීර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ ශීලව්‍රතපරාමර්‍ශසංයෝජන යයි කියනු ලැබේ.
1124. එහි භවරාගසංයෝජන කවරේ යත්:
රූපාරූපභවයන්හි යම් භවච්ඡන්‍දයෙක් භවරාගයෙක් භවනන්‍දියෙක් භවතෘෂ්ණායෙක් භවස්නේහයෙක් භවපරිදාහයෙක් භවමූර්ච්ඡායෙක් භවයන්හි බැසගැනීමෙක් වේ ද, මේ භවරාගසංයෝජන යයි කියනු ලැබේ.
1125. එහි ඊර්‍ෂ්‍යාසංයෝජන කවරේ යත්:
මෙරමා පිළිබඳ ලාභ - සත්කාර - ගරුකාර - මානන - වන්‍දන - පූජනා විෂයෙහි යම් ඊර්‍ෂ්‍යාවක් ඊර්‍ෂ්‍යාකාරයෙක් ඊර්‍ෂ්‍යාවට පැමිණි බවෙක්, අසූයා (දොස් පහළ කිරීමෙක්) අසූයාකාරයෙක් අසූයාවට පැමිණි බවෙක් වේ ද, මේ ඊර්‍ෂ්‍යාසංයෝජන යයි කියනු ලැබේ.
1126. එහි මාත්සර්‍ය්‍යසංයෝජන කවරේ යත්:
මාත්සර්‍ය්‍ය (මසුරුබැව්) පසෙකි: ආවාසමාත්සර්‍ය්‍ය ය, කුල මාත්සර්‍ය්‍ය ය, ලාභ මාත්සර්‍ය්‍ය ය, වර්‍ණ මාත්සර්‍ය්‍ය ය, ධර්‍ම මාත්සර්‍ය්‍ය යයි. යම් මෙබඳු වූ මාත්සර්‍ය්‍යයෙක් මාත්සර්‍ය්‍යකාරයෙක් මාත්සර්‍ය්‍යයට පැමිණි බවෙක් වෛවීප්සායෙක් අනාර්‍ය්‍ය (තදමසුරු) බවෙක් කටුකභාවයෙන් සිත හැකිළීමෙක් සිත හාත්පසින් ගත්බවෙක් වේ ද, මේ මාත්සර්‍ය්‍යසංයෝජන යයි කියනු ලැබේ.
1127. එහි අවිද්‍යාසංයෝජන කවරේ යත්:
දුඃඛසත්‍යෙයහි නො දැනීම දුඃඛසමුදයෙහි නො දැනීම දුඃඛනිරෝධයෙහි නො දැනීම දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි නො දැනීම පූර්‍වාන්තයෙහි නො දැනීම අපරාන්තයෙහි නො දැනීම පූර්‍වාන්තාපරාන්තයෙහි නො දැනීම ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුප්පන්න ධර්‍මයන්හි නො දැනීම ය, යන මෙබඳු වූ යම් අඥානයෙක් අදර්‍ශනයෙක් අනභිසමයෙක් අනවබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනවට නො ගැනීමෙක් හාත්පසින් නො බැස ගැනීමෙක් සම ව නො බැලීමෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කිරීමෙක් ප්‍රත්‍යක්‍ෂ නො කිරීමෙක් දුර්මේධ්‍යෙයක් බාල්‍යයෙක් අසම්‍යග් ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යායෙක් අවිද්‍යෝඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යානුශයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ - අකුශල මූලයෙක් වේ ද, මේ අවිද්‍යාසංයෝජන යයි කියනු ලැබේ.
මේ ධර්‍මයෝ සංයෝජනයෝ යි.
1128. කවර ධර්‍මයෝ සංයෝජන නො වූවාහු වෙති යත්:
ඒ සංයෝජන ධර්‍මයන් තබා අවශේෂ වූ කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශල - අකුශල - අව්‍යාකෘත ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ සංයෝජන නො වූවෝ යි.
1129. කවර ධර්‍මයෝ සංයෝජනීය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය යන මොහු සංයෝජනීය ධර්‍මයෝ ය.
1130. කවර ධර්‍මයෝ අසංයෝජනිය වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත ධාතුව ද, යන මොහු අසංයෝජනිය ධර්‍මයෝ යි.
1131. කවර ධර්‍මයෝ සංයෝජනසම්ප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මොහු සංයෝජන සම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1132. කවර ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු ද, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය, සියලු රූපය ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්තයෝ යි.
1133. කවර ධර්‍මයෝ සංයෝජනත් සංයෝජනීයත් වෙති යත්:
ඒ සංයෝජනයෝ මැ සංයෝජන ද සංයෝජනීය ද වෙත්.
1134. කවර ධර්‍මයෝ සංයෝජනීය ද නො ද සංයෝජන ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන්ගෙන් සංයෝජනීය වෙත් නම්, ඒ ධර්‍මයන් තබා අවශේෂ කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශලාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ සංයෝජනීය ද නො ද සංයෝජන ද වෙත්.
1135. කවර ධර්‍මයෝ සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙති යත්:
කාමාරාග සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය කාමාරාග සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ප්‍රතිඝ සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ප්‍රතිඝ සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. මාන සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය මාන සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. දෘෂ්ටි සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය දෘෂ්ටි සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. විචිකිත්සා සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය විචිකිත්සා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ශීල ව්‍රතපරාමර්‍ශ සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ශීල ව්‍රතපරාමර්‍ශ සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. භවරාග සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය භවරාග සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. ඊර්‍ෂ්‍යා සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජනය ඊර්‍ෂ්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. මාත්සර්‍ය්‍ය සංයෝජනය අවිද්‍යා සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙයි. අවිද්‍යා සංයෝජන මාත්සර්‍ය්‍ය සංයෝජනය සමග සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වේ. මේ ධර්‍මයෝ සංයෝජන ද සංයෝජන සම්ප්‍රයුක්ත ද වෙත්.
1136. කවර ධර්‍මයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද නො ද සංයෝජන ද වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන් හා සම්ප්‍රයුක්ත වූවාහු නම්, ඒ ධර්‍මයන් තබා, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ සංයෝජන සම්ප්‍රයුක්ත ද නො ද සංයෝජන ද වෙත්.
1137. කවර ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙති යත්:
යම් ධර්‍ම කෙනෙක් ඒ සංයෝජන ධර්‍මයන් හා විප්‍රයුක්ත වූවාහු නම්, කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශකාව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධය ... විඥානස්කන්‍ධය යන මේ ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත සංයෝජනීය වෙත්.
1138. කවර ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ද, යන මේ ධර්‍මයෝ සංයෝජන විප්‍රයුක්ත අසංයෝජනිය වෙත්.
සංයෝජනගොච්ඡකය යි.
1139. කවර ධර්‍මයෝ ග්‍රන්‍ථ වෙති යත්:
ග්‍රන්‍ථයෝ සතර දෙනෙක් වෙති: අභිධ්‍යා කායග්‍රන්‍ථය, ව්‍යාපාද කායග්‍රන්‍ථය, ශීලව්‍රතපරාමර්‍ෂ කායග්‍රන්‍ථ ය, ඉදංසත්‍යාභිවේශ කායග්‍රන්‍ථ යයි.
1140. එහි අභිධ්‍යා කායග්‍රන්‍ථය කවරේ යත්:
යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් නන්‍දියෙක් නන්‍දිරාගයෙක් චිත්තයාගේ සංරාගයෙක් ඉච්ඡාවක් මූර්ච්ඡාවක් අධ්‍යවසානයෙක් ගේධයෙක් පරිගේධයෙක් ඇලීමෙක් පඞ්කයෙක් ඒජාවක් මායාවක් ජනිකාවක් සංජනනියක් සීවනියක් ජාලිනියක් සරිතාවක් විසත්තිකාවක් සූත්‍රයෙක් පැතිරීමෙක් ආයුහනියක් ද්වීතියාවක් ප්‍රණිධියෙක් භවනෙත්තියෙක් වනයෙක් වනථයෙක් සන්‍ථවයෙක් ස්නේහයෙක් අපේක්‍ෂාවක් ප්‍රතිබන්‍ධයෙක් ආශායෙක් ආශංසනයෙක් ආශංසිත බවෙක් රූපාශායෙක් ශබ්ධාශායෙක් ගන්‍ධාශායෙක් රසාශායෙක් ස්ප්‍රෂ්ටව්‍යාශායෙක් ලාභාශායෙක් ධනාශායෙක් පුත්‍රාශායෙක් ජීවිතාශායෙක් ජල්පනය කිරීමෙක් ප්‍රජල්පයෙක් අභිජල්පයෙක් ජල්පනයෙක් ජල්පනාකාරයෙක් ජල්පිත බවෙක් නගුට සැලුමෙක් ස්වාදුකාම්‍යතායෙක් අධර්‍මරාගයෙක් විෂම ලෝභයෙක් නිකාන්තියෙක් කැමති වන අයුරෙක් ප්‍රාර්‍ත්‍ථනයෙක් පිහායෙක් සම්ප්‍රාර්‍ත්‍ථනයෙක් කාමතෘෂ්ණායෙක් භවතෘෂ්ණායෙක් විභවතෘෂ්ණායෙක් රූප (භව) තෘෂ්ණායෙක් අරූපතෘෂ්ණායෙක් නිරෝධතෘෂ්ණායෙක් රූපතෘෂ්ණායෙක් ශබ්ධතෘෂ්ණායෙක් ගන්‍ධතෘෂ්ණායෙක් රසතෘෂ්ණායෙක් ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙක් ධර්‍මතෘෂ්ණායෙක් ඕඝයෙක් යෝගයෙක් ග්‍රන්‍ථයෙක් උපාදානයෙක් ආවරණයෙක් නීවරණයෙක් ඡදනයෙක් බන්‍ධනයෙක් උපක්ලේශයෙක් අනුශයෙක් පර්‍ය්‍යුත්‍ථානයෙක් ලතායෙක් වෛවිප්සායෙක් දුඃඛමූලයෙක් දුඃඛනිදානයෙක් දුඃඛප්‍රභවයෙක් මාරපාශයෙක් මාරබලිසයෙක් මාරවිෂයක් තෘෂ්ණා නදියක් තෘෂ්ණාජාලයෙක් තෘෂ්ණාගර්දූලයෙක් තෘෂ්ණාසමුද්‍රයෙක් අභිධ්‍යාවක් ලෝභඅකුශල මූලයෙක් වේ ද, මේ අභිධ්‍යා කාය ග්‍රන්‍ථ යයි කියනු ලැබේ.
1141. එහි ව්‍යාපාද කායග්‍රන්‍ථ කවරේ යැ:
‘මට අවැඩ කළැ’යි කෝප උපදී, ‘මට අවැඩ කෙරෙයි’ කෝප උපදී, ‘මට අවැඩ කරන්නේ වනැ’යි කෝප උපදී, ‘මාගේ ප්‍රිය මනාප වූවහුට අවැඩ කළ’යි ... අවැඩ කෙරෙයි ... අවැඩ කරන්නේ වනැ’යි කෝප උපදී, ‘මාගේ අප්‍රිය අමනාප වූවහුට වැඩ කළැ’යි ... වැඩ කෙරෙයි ... වැඩ කරන්නේ වනැ’යි කෝප උපදී. යළි නො තැන්හි හෝ කෝප උපදී. මෙබඳු වූ යම් සිත පිළිබඳ ආඝාතයෙක් ප්‍රතිඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්‍රද්වේෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් සිත පෙරැළීමෙක් සිත දූෂ්‍ය වීමෙක් ක්‍රෝධයෙක් කිපෙන අයුරෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් දූෂ්‍යාකාරයෙක් දූෂිත බවෙක් පෙරැළීමෙක් පෙරැළෙන අයුරෙක් පෙරළුණු බවෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඬබවෙක් නො පිරිපුන් වචන ඇතිබවෙක් චිත්තයාගේ නො සියමන් බවෙක් වේ ද, මේ ව්‍යාපාද කායග්‍රන්‍ථ යයි කියනු ලැබේ.
1142. එහි ශීලව්‍රතපරාමර්‍ශ කාය ග්‍රන්‍ථකවරේ යැ:
මේ සස්නෙන් බැහැර මහණ බමුණන්ගේ ‘ශීලයෙන් ශුද්ධි යැ, ව්‍රතයෙන් ශුද්ධි යැ, ශීල ව්‍රතයෙන් ශුද්ධි යැ’යි මෙබඳු යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විලෝම දෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් ඇද්ද, මේ ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථ යි කියනු ලැබේ.
1143. එහි ඉදම් සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ කවරේ යැ:
ස්කන්‍ධ සඞ්ඛ්‍යාත ලෝකය ශාශ්වත යැ, මෙය මැ සැබව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අශාශ්වත යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අන්තවත් යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ලෝකය අනන්තවත් යැ, මෙය මැ සැබැව, අන්‍ය තුච්ඡ යැයි හෝ, ඒ මැ ජීවය ඒ මැ ශරීර යැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, ජීවය අනෙකෙකැ ශරීරය අනෙකෙකැ, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත (-සත්ත්‍වයා) මරණින් මතුයෙහි වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි වන්නේත් නො ද වන්නේත් වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, තථාගත මරණින් මතුයෙහි නො මැ වෙයි, නො වන්නේ නො වෙයි, මෙය මැ සැබැව, අන්‍යය තුච්ඡ යැයි හෝ, මෙබඳු වූ යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් දෘෂ්ටිවිලෝමයෙක් දෘෂ්ටිවිෂ්පන්‍දිතයෙක් දෘෂ්ටිසංයෝජනයෙක් දැඩිව ගැනීමෙක් පිහිටා සිටීමෙක් අභිනිවේශයෙක් පරාමර්‍ශයෙක් කුන්මාර්‍ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විරීතග්‍රාහයෙක් වේ ද, මේ ඉදම් සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ යයි කියනු ලැබේ. ශීලව්‍රතපරාමර්‍ශ කායග්‍රන්‍ථය තබා හැම මිථ්‍යා දෘෂ්ටි ඉදම්සත්‍යාභිනිවේශ කායග්‍රන්‍ථ යි.
මේ ධර්‍මයෝ ග්‍රන්‍ථයෝ යි.