Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 2501-2600 න් 3932

971. ඒ පඨවිධාතුරූපය කවරේ යත්:
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න (ශරීරස්ථ) වූ හෝ අනුපාදින්න වූ හෝ යම් කර්‍කශයෙක් පරුෂයෙක් කර්‍කශත්‍වයෙක් කර්‍කශභාවයෙක් වේ ද, මේ ඒ පෘථිවිධාතුරූප යි.
972. ඒ ආපෝධාතු රූපය කවරේ යත්:
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධනත්‍වයෙක් වේ ද, මේ ඒ අබ්ධාතුරූප යි.
973. ඒ තේජෝධාතු රූපය කවරේ යත්:
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් තේජසෙක් තේජෝගතයෙක් උණුසුමෙක් උණුසුම් අයුරෙක් තද උණුසුමෙක් තද උණුසුම් අයුරෙක් වේ ද, මේ ඒ තේජෝධාතුරූප යි.
974. ඒ වායෝධාතු රූපය කවරේ යත්:
අධ්‍යාත්ම වූ හෝ බාහිර වූ හෝ උපාදින්න වූ හෝ අනුපාදින්න වූ හෝ යම් වායුවෙක් වායෝගතයෙක් රූපයාගේ පිරුණුබවෙක් වේ ද, මේ ඒ වායෝධාතුරූප යි.
975. ඒ උපාදාරූපය කවරේ යත්:
චක්‍ෂුරායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාරූප යි.
මෙසේ පඤ්චප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
පඤ්චකය යි.
976. රූපායාතනය චක්‍ෂුර්විඥේය (චක්‍ෂුර්විඥානයෙන් දත හැකි) රූපය, ශබ්දායතනය ශ්‍රෝතවිඥේය රූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේය රූපය, රසායතනය ජිහ්වාවිඥේය රූප ය, ස්ප්‍රෂ්ටව්‍යායතනය කායවිඥේය රූප ය, හැම රූපය මනෝවිඥෙය රූප යි.
මෙසේ ෂට්ප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
ෂට්කය යි.
977. රූපායතනය චක්‍ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්‍රොතවිඥෙයරූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, ස්ප්‍රෂ්ටව්‍යායතනය කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන මනෝධාතුවිඥේය (ත්‍රිවිධ මනෝධාතුයෙන් දත හැකි) රූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.
මෙසේ සප්තප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
සප්තකය යි.
978. රූපායතනය චක්‍ෂුර්විඥේයරූපය, ශබ්දායතනය ශ්‍රොතවිඥෙයරූපය, ගන්‍ධායතනය ඝ්‍රාණවිඥේයරූපය, රසායතනය ජිහ්වාවිඥේයරූප ය, සුවපහස් වූ මනවඩවන පහස කායවිඥේයරූප ය, දුක්පහස් වූ නො මනවඩවන පහස කායවිඥේයරූප ය, රූපායතනය ශබ්දායතනය ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතන මනෝධාතුවිඥෙයරූප ය, හැම රූපය මනෝවිඥානධාතුයෙන් දත හැකි රූපයි.
මෙසේ අෂ්ටප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
අෂ්ටකය යි.
979. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රියරූපයි.
980. ඒ සෝතින්‍ද්‍රියරූපය ... ඝානින්‍ද්‍රිය ... ජිව්හින්‍ද්‍රිය ... කායින්‍ද්‍රිය ... ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රියරූපය කවරේ යත්:
ඒ රූපීධර්‍මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරීයනයෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්‍ද්‍රියරූප යි.
981. ඒ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
රූපායතන ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ රූප යි.
මෙසේ නවප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
නවකය යි.
982. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රියරූපයි.
983. ඒ සෝතින්‍ද්‍රියරූපය ... ඝානින්‍ද්‍රිය ... ජිව්හින්‍ද්‍රිය ... කායින්‍ද්‍රිය ... ඉත්‍ථින්‍ද්‍රිය ... පුරිසින්‍ද්‍රිය ... ජීවිතින්‍ද්‍රියරූපය කවරේ යත්:
ඒ රූපීධර්‍මයන්ගේ ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඊර්‍ය්‍යාපථයෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජීවිතේන්‍ද්‍රියරූප යි.
984. ඒ ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූපය කවරේ යත්:
රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සප්‍රතිඝරූප යි.
985. ඒ ඉන්‍ද්‍රිය නො වූ අප්‍රතිඝරූපය කවරේ යත්:
කායවිඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ අප්‍රතිඝරූප යි.
මෙසේ දශප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
දශකය යි.
986. ඒ චක්‍ඛායතන රූපය කවරේ යත්:
යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ... තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ චක්‍ෂුරායතන රූපයි.
987. ඒ සෝතායතනරූපය ... ඝානායතන ... ජිව්හායතන ... කායායතන ... රූපායතන ... සද්දායතන ... ගන්‍ධායතන ... රසායතන ... ඵොට්ඨබ්බායතනරූපය කවරේ යත්:
පෘථිවිධාතු ය ... තෙල ස්ප්‍රෂ්ටව්‍යධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.
988. ඒ අනිදස්සන අප්පටිඝ වූ ධම්මායතනපරියාපන්න රූපය කවරේ යත්:
ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්නරූප යි.
මෙසේ ඒකාදශප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
ඒකාදශකය යි.
රූපකාණ්ඩය නිමි.
අටවැනි බණවර යි.
3. නික්‍ෂේපකාණ්ඩය
989. කවර ධර්‍මයෝ කුශල වෙති යත්:
අලෝභ ය අදෝස ය අමෝහ ය යන තුන් කුශලමූලයෝ ය. උන් (ඒ අලෝභාදීන්) හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, ඒ අලෝභාදීන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍මය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ කුශලයෝ යි.
990. කවර ධර්‍මයෝ අකුශල වෙති යත්:
ලෝභ ය දෝසය මෝහ ය යන තුන් අකුශලමූලයෝ ය, තදේකස්ථ (ඒ ලෝභාදිය සමග එක් සිතෙක සිටියා) වූ ක්ලේශයෝ ය, ඒ ලෝභාදීන් හා සම්ප්‍රයුක්ත වු වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, ඒ ලෝභාදීන් විසින් සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ අකුශලයෝ යි.
991. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
කාමාවචර වූ රූපාවචර වූ අරූපාවචර වූ අපරියාපන්න වූ (තුන් වටහි ඇතුළු නො වු ) කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ සංඥාස්කන්‍ධ සංස්කාරස්කන්‍ධ විඥානස්කන්‍ධ ය, නො ම කුශලාකුශල වූ නො ද කර්‍මවිපාක වූ යම් ධර්‍ම කෙනෙක් වෙත් ද, ඔහු ද, සියලු රූපය ද අසඞ්ඛතධාතු (නිවන ) ද, යන මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
992. කවර ධර්‍ම කෙනෙක් සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:
කාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි සුඛභූමි වූ සිත්හි සුඛවේදනාව තබා ඒ සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.
993. කවර ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:
කාමාවචරයෙහි දුකට භූමි වූ සිත්හි දුඃඛවේදනාව තබා ඒ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.
994. කවර ධර්‍මයෝ අදුක්ඛමසුඛ (උපේක්‍ෂා ) වේදනාව හා සම්ප්‍රයුක්ත වෙති යත්:
කාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි උපේක්‍ෂාභූමි වූ සිත්හි උපේක්‍ෂාවේදනාව තබා තත්සම්ප්‍රයුක්ත වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අදුක්ඛමසුඛ (උපේක්‍ෂා) වේදනාව හා සම්ප්‍රයුක්ත වෙත්.
995. කවර ධර්‍මයෝ විපාක වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ විපාකයෝ යි.
996. කවර ධර්‍මයෝ විපාකස්වභාවධර්‍ම වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර අපරියාපන්න වූ කුශලා කුශලධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ විපාකධර්‍ම (විපාකස්වභාව) ධර්‍මයෝ යි.
997. කවර ධර්‍මයෝ නො ම විපාක වූවාහු විපාකස්වභාවධර්‍ම නො වූවාහු වෙති යත්:
නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, සියලු රූපය ද, අසංඛතධාතු (නිවන) ද යන මේ ධර්‍මයෝ නෛව විපාක න විපාකස්වභාව ධර්‍මයෝ යි.
998. කවර ධර්‍මයෝ උපාදින්න - උපාදානිය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, කර්‍මය කළ හෙයින් යම් රූපයකුත් වේ ද, මේ ධර්‍මයෝ උපාදින්න උපාදානියයෝ යි.
999. කවර ධර්‍මයෝ අනුපාදින්න - උපාදානිය වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ ය, වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙකුත් වෙත් ද, කර්‍මය කළ හෙයින් නො වූ යම් රූපයෙකුත් වේ ද, මේ ධර්‍මයෝ අනුපාදින්න - උපාදානියයෝ යි.
1000. කවර ධර්‍මයෝ අනුපාදින්න - අනුපාදානිය වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අනුපාදින්න - අනුපාදානියයෝ යි.
1001. කවර ධර්‍මයෝ සඞ්කිලිට්ඨ සඞ්කිලේසික වෙති යත්:
ලෝභ දෝස මෝහ යන තුන් අකුශලමූලයෝ ය, තත්සහජෛකස්ථ වූ ක්ලේශයෝ ය, තත්සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධය ... විඥානස්කන්‍ධ ය, තත්සමුත්‍ථිත වූ කායකර්‍ම ය වාක්කර්‍ම ය මනඃකර්‍ම ය, මේ ධර්‍මයෝ සංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ යි.
1002. කවර ධර්‍මයෝ අසඞ්කිලිට්ඨසඞ්කිලෙසික වෙති යත්:
කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව වූ කුශලාව්‍යාකෘතධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ටසාංක්ලේශිකයෝ යි.
1003. කවර ධර්‍මයෝ අසඞ්කිලිට්ඨ අසඞ්කිලේසික වෙති යත්:
අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අසංක්ලිෂ්ට - අසාංක්ලේශිකයෝ යි.
1004. කවර ධර්‍මයෝ සවිතර්‍ක - සවිචාර වෙති යත්:
කාමාවචරයෙහි රූපාවචරයෙහි, අපරියාපන්නයෙහි සවිතර්‍ක සවිචාරභූමියෙහි වූ විතර්‍කවිචාරයන් තබා තත් (සවිතර්‍කසවිචාර චිත්තය හා) සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ සවිතර්‍ක සවිචාරයෝ යි.
1005. කවර ධර්‍මයෝ අවිතර්‍කවිචාරමාත්‍ර වෙති යත්:
රූපාවචරයෙහි අපරියාපන්නයෙහි අවිතර්‍ක විචාරමාත්‍රභූමියෙහි වූ විචාරය තබා ඒ අවිතර්‍කවිචාරමාත්‍රචිත්තය හා සම්ප්‍රයුක්ත වූ වේදනාස්කන්‍ධ ය … විඥානස්කන්‍ධ ය, මේ ධර්‍මයෝ අවිතර්‍කවිචාරමාත්‍රයෝ යි.
1006. කවර ධර්‍මයෝ අවිතර්‍ක - අවිචාර වෙති යත්:
කාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි අවිතර්‍ක - අවිචාරභූමියෙහි වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, සියලු රූපය ද, අසඞ්ඛත (නිබ්බාන) ධාතුව දැයි මේ ධර්‍මයෝ අවිතර්‍ක - අවිචාරයෝ යි.
1007. කවර ධර්‍මයෝ ප්‍රීතිසහගත වෙති යත්:
කාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි ප්‍රීතිභූමියෙහි වූ, ප්‍රීතිය තබා ඒ (ප්‍රීතිය උපදනා සිත හා) සම්ප්‍රයෝග වූ වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ ප්‍රීතිසහගතයෝ යි.
1008. කවර ධර්‍මයෝ සුඛසහගත වෙති යත්:
කාමාවචරයෙහි රූපාවචරයෙහි අපරියාපන්නයෙහි සුඛභූමියෙහි වූ, සුඛය තබා ඒ (සුඛභූමිය) හා සම්ප්‍රයෝග වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සුඛසහගතයෝ යි.
1009. කවර ධර්‍මයෝ උපේක්‍ෂාසහගත වෙති යත්:
කාමාවචරයෙහි රූපාවචරයෙහි අරූපාවචරයෙහි අපරියාපන්නයෙහි උපේක්‍ෂාභූමියෙහි වූ, උපේක්‍ෂාව තබා ඒ (උපේක්‍ෂාව උපදනා සිත) හා සම්ප්‍රයෝග වූ සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ උපෙක්‍ෂාසහගතයෝ යි.
1010. කවර ධර්‍මයෝ දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වෙති යත්:
සත්කායදෘෂ්ටි ය විචිකිත්සා ය ශීලව්‍රතපරාමර්‍ෂ ය යන තුන් සංයෝජනයෝ යි.
1011. එහි සත්කායදෘෂ්ටි කවරෙ යත්:
මෙලොවැ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ ආර්‍ය්‍යයන් නො දක්නාසුලු වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අකෝවිද (අදක්‍ෂ) වූයේ ආර්‍ය්‍යධර්‍මයෙහි අවිනීත වූයේ, සත්පුරුෂයන් නො දක්නාසුලු වූයේ සත්පුරුෂධර්‍මයෙහි අකෝවිද වූයේ සත්පුරුෂධර්‍මයෙහි අවිනීත වූයේ රූපය ආත්මයයි (ද්‍රෂ්ටිවශයෙන්) දකී. (සෙවණ ඇති රුකක් මෙන්) ආත්මය රූපවත් කොට හෝ, (මලෙහි සුවඳ මෙන්) ආත්මයෙහි රූපය හෝ, (කරඬුයෙහි මැණික මෙන්) රූපයෙහි ආත්මය හෝ දකී. වේදනාව ආත්මීය යි (ද්‍රෂ්ටිදර්‍ශනයෙන්) දකී. ආත්මය වේදනාවත් කොට හෝ, ආත්මයෙහි වේදනාව හෝ, වේදනායෙහි ආත්මය හෝ දකී. සංඥාව ආත්මයයි දකී. ආත්මය සංඥාවත් කොට හෝ, ආත්මයෙහි සංඥාව හෝ, සංඥායෙහි ආත්මය හෝ දකී. සංස්කාරයන් ආත්මය යි දකී. ආත්මය සංස්කාරවත් කොට හෝ, ආත්මයෙහි සංස්කාරයන් හෝ, සංස්කාරයන්හි ආත්මය හෝ දකී. විඥානය ආත්මය යි දකී. ආත්මය විඥානවත් කොට හෝ, ආත්මයෙහි විඥානය හෝ, විඥානයෙහි ආත්මය හෝ දකී.
මෙබඳු වූ යම් ද්‍රෂ්ටියක ද්‍රෂ්ටිගතයෙක් ද්‍රෂ්ටිගහනයෙක් ද්‍රෂ්ටිකාන්තාරයෙක් ද්‍රෂ්ටිවිසූකායිකයෙක් ද්‍රෂ්ටිවිෂ්පන්‍දිතයෙක් ද්‍රෂ්ටිසංයෝජනයෙක්, (දැඩිව) ගැනීමෙක් පිහිටාගැනීමෙක් (නිත්‍යාදි විසින්) අභිනිවේශයෙක් පරාමර්‍ෂයෙක් කුත්සිතමාර්‍ගයෙක් මිත්‍ථ්‍යාපථයෙක්, මිත්‍ථ්‍යාස්වභාවයෙක් තීත්‍ථ්‍යායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ සත්කායදෘෂ්ටි යයි කියනු ලැබේ.
1012. එහි විචිකිත්සා කවර යත්:
ශාස්තෲන් වහන්සේ කෙරෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි, නවලොවුතුරු දහම්හි ... අට අරී සඟුන් කෙරෙහි ... ත්‍රිවිධ ශික්‍ෂායෙහි, (අතීතස්කන්‍ධාදි) පූර්‍වාන්තයෙහි, (අනාගතාස්කන්‍ධයෙහි) අපරාන්තයෙහි, පූර්‍වාන්ත අපරාන්තයෙහි, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්‍මවිෂයෙහි සැක කෙරෙයි, විචිකිත්සා කෙරෙයි. යම් මෙබඳු වූ සැකයෙක් සැක කරන අයුරෙක් සැකයට පමුණුවන ලද බවෙක් විමතියෙක් විචිකිත්සාවක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයයෙක් අනෛකාන්තග්‍රාහකයෙක් ආසර්‍පණයෙක් පරිසර්‍පණයෙක් (අරමුණට) නො බැසගැනීමෙක් චිත්තයාගේ තදබවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ විචිකිත්සා යයි කියනු ලැබේ.
1013. එහි ශීලව්‍රතපරාමර්‍ෂය කවරෙ යත්: