Dhammasaṅgaṇī

Enumeration of Phenomena

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-18 · 3932 segments

පෙන්වන කොටස් 1501-1600 න් 3932

570. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
එසමයෙහි යම් ස්පර්‍ශයෙක්, ස්පර්‍ශාකාරයෙක්, මොනවට ස්පර්‍ශ කරන අයුරෙක්, මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...
571. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක්, මොනොවට සිටීමෙක්, බැසැගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇති බවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
572. කවරක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක්, නිෂ්ක්‍රමයෙක්, පරාක්‍රමයෙක්, උද්‍යමයෙක්, ව්‍යායාමයෙක්, උත්සාහයෙක්, අධිමාත්‍ර උත්සාහයෙක්, දෘඪපරාක්‍රමයෙක්, ධෛර්‍ය්‍යයෙක්, ස්ථිරපරාක්‍රමතායෙක්, නො තැබූ ඡන්‍දය ඇති බවෙක්, නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක්, වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක්, වීර්‍ය්‍යයෙක්, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක්, වීර්‍ය්‍යබලයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
573. කවරක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක්, මොනොවට සිටීමෙක්, බැසැගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇති බවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ, තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
574. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය යි.
[ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගත චිත්තය]
575. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
576. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගත චිත්තය යි.
[කාමාවචරක්‍රියා]
577. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අමොහ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
578. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ රූපාලම්බන වේවයි ... ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත ව ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥානධාතුව) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
කාමාවචරක්‍රියා යි.
[රූපාවචරක්‍රියා]
579. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
580. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
රූපාවචරක්‍රියා යි.
[අරූපාවචරක්‍රියා]
581. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති අරූපාවචර ධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්‍ව සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන්, ආකාසානඤ්චායතන සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
582. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතන ඉක්ම විඥානඤ්චායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
583. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඥානඤ්චායතනය ඉක්ම ආකිඤ්චඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
584. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
යම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අමොහ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
අරූපාවචරක්‍රියා යි.
චිත්තෝත්පාදකාණ්ඩය නිමි.
2. රූපකාණ්ඩය
උද්දේසෝ
585. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
කාමාවචර වූ රූපාවාචර වූ අරූපාවචර වූ අපරියාපන්න වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, හැම රූපය ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ අව්‍යාකතෘයෝ යි.
[මාතෘකා]
586. එහි හැම රූපය කවරැ යත්:
සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ හැම රූප යයි කියනු ලැබේ.
587. එක් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
හැම රූපය නහේතු ය, අහේතුක ය, හේතුවිප්‍රයුක්ත ය, සප්‍රත්‍ය ය, සඞ්ඛත ය, රූපවත් ය, ලෞකික ය, සාස්‍රව ය, සංයෝජනිය ය, ග්‍රන්‍ථනීය ය. ඕඝනීය ය, යෝගනීය ය, නීවරණිය ය, පරාමෘෂ්ට ය, උපාදානිය ය, සාංක්ලේශික ය, අව්‍යාකෘත ය, අනාලම්බන ය, අචෛතසික ය, චිත්තවිප්‍රයුක්ත ය, නෛවවිපාකනවිපාකධර්‍මධර්‍ම ය, අසංක්ලිෂ්ටසාංක්ලේශික ය, නසවිතර්‍කවිචාර ය, නාවිතර්‍කවිචාරමාත්‍ර ය, අවිතර්‍කඅවිචාර ය, නප්‍රීතිසහගත ය, නසුඛසහගත ය, නඋපේක්‍ෂා සහගත ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ය, නො ම ශෛක්‍ෂ නාශෛක්‍ෂ ය, පරිත්ත ය, කාමාවචර ය, නරූපාවචර ය, නඅරූපාවචර ය, පරියාපන්න ය, නො ම අපරියාපන්න ය, අනියත ය, අනෛර්‍ය්‍යාණික ය, උත්පන්න ය, ෂඩ්විඥානයෙන් විඥේය ය, අනිත්‍ය ය, ජරාභිභූත යි. මෙසේ එක කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
එකක යි.
588. දෙකොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
උපාදාරූපයෙක් ඇත, උපාදා නො වූ රූපයෙක් ඇත.
උපාදින්නරූපයෙක් ඇත, අනුපාදින්නරූපයෙක් ඇත.
උපාදින්නෝපාදානීය රූපයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය රූපයෙක් ඇත,
සනිදර්‍නරූපයෙක් ඇත, අනිදර්‍ශනරූපයෙක් ඇත.
සප්‍රතිඝරූපයෙක් ඇත, අප්‍රතිඝරූපයෙක් ඇත.
ඉන්‍ද්‍රියරූපයෙක් ඇත, ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
මහාභූත රූපයෙක් ඇත, මහාභූත නො වූ රූපයෙක් ඇත.
විඥප්තිරූපයෙක් ඇත, විඥප්ති නො වූ රූපයෙක් ඇත.
චිත්තසමුත්‍ථානරූපයෙක් ඇත, චිත්තසමුත්‍ථාන නො වූ රූපයෙක් ඇත.
සිත සමග උපන් රූපයෙක් ඇත. සිත සමග නූපන් රූපයෙක් ඇත.
චිත්තානුපරිවර්තී වූ රූපයෙක් ඇත, චිත්තානුපරිවර්තී නො වූ රූපයෙක් ඇත.
ආධ්‍යාත්මිකරූපයෙක් ඇත, බාහ්‍යරූපයෙක් ඇත.
ඖදාරික රූපයෙක් ඇත, සූක්‍ෂමරූපයෙක් ඇත.
දූරේ රූපයෙක් ඇත, සන්තිකේ රූපයෙක් ඇත.
ප්‍රකීර්‍ණකදුක යි. (14)
චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජ වූ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූපයෙක් ඇත, චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූපයෙක් ඇත.
සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට වස්තු වූ රූපයෙක් ඇත, කායවිඥානයට වස්තු නො වූ රූපයෙක් ඇති.
වස්තුදුක යි. (25)
චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇත.
සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට ... සංඥාවට … චෙතනාවට … කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇති.
ආලම්බනදුක යි. (25)
චක්ඛායතන රූපයෙක් ඇත, චක්ඛායතන නො වූ රූපයෙක් ඇත.
සෝතායතන … ඝානායතන … ජිව්හායතන … කායායතනරූපයෙක් ඇත, කායායතන නො වූ රූපයෙක් ඇත.
රූපායතන වූ රූපයෙක් ඇත, රූපායතන නො වූ රූපයෙක් ඇත.
ශබ්දායතනරූපයෙක් ඇත, ශබ්දායතන නො වූ රූපයෙක් ඇත.
ගන්‍ධායතනරූපයෙක් ඇත, ගන්‍ධායතන නො වූ රූපයෙක් ඇත.
රසායතනරූපයෙක් ඇත, රසායතන නො වූ රූපයෙක් ඇත.
ඵොට්ඨබ්බායතනරූපයෙක් ඇත, ඵොට්ඨබ්බායතන නො වූ රූපයෙක් ඇති.
ආයතන දුක යි. (10)
චක්ඛුධාතුරූපයෙක් ඇත, චක්ඛුධාතු නො වූ රූපයෙක් ඇත.
සොතධාතු රූපයෙක් ඇත, සොතධාතු නො වූ රූපයෙක් ඇත.
ඝානධාතුරූපයෙක් ඇත, ඝානධාතු නො වූ රූපයෙක් ඇත.
ජිව්හාධාතුරූපයෙක් ඇත, ජිව්හාධාතු නො වූ රූපයෙක් ඇත.
කායධාතුරූපයෙක් ඇත, කායධාතු නො වූ රූපයෙක් ඇත.
රූපධාතුරූපයෙක් ඇත, රූපධාතු නො වූ රූපයෙක් ඇත.
ශබ්දධාතුරූපයෙක් ඇත, ශබ්දධාතු නො වූ රූපයෙක් ඇත.
ගන්‍ධධාතුරූපයෙක් ඇත, ගන්‍ධධාතු නො වූ රූපයෙක් ඇත.
රසධාතුරූපයෙක් ඇත, රසධාතු නො වූ රූපයෙක් ඇත.
ස්ප්‍රෂ්ටව්‍යධාතුරූපයෙක් ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූපයෙක් ඇති.
ධාතු දුක යි. (10)
චක්‍ෂුරින්‍ද්‍රියරූපයෙක් ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ශ්‍රෝත්‍රේන්‍ද්‍රියරූපයෙක් ඇත, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ඝ්‍රාණෙන්‍ද්‍රියරූපයෙක් ඇත, ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ජිහ්වේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජිහ්වේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
කායේන්‍ද්‍රියරූපයෙක් ඇත, කායේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
ස්ත්‍රීන්‍ද්‍රියරූපයෙක් ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
පුරුෂේන්‍ද්‍රියරූපයෙක් ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.